Ultimate magazine theme for WordPress.

නොදැවී එක් දිනක් සම්පූර්ණයෙන්ම පන්දුවට පහර දෙමින් රහ්මට් හා හෂ්මතුල්ලාහ් ටෙස්ට් ඉතිහාසය අලුත් කරයි

ටෙස්ට් ඉතිහාසයේ පිතිකරුවන් දෙදෙනෙකු සම්පූර්ණ දිනයක් පුරා නොදැවී පන්දුවට පහර දුන් 25 වැනි අවස්ථාව සනිටුහන් කිරීමට ඇෆ්ඝනිස්තානයේ රහ්මට් ශාහ් හා නායක හෂ්මතුල්ලාහ් ශහීඩි අද(28) සමත් වුණා.

ඒ, සිම්බාබ්වේ සමග බුලවායෝහීදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදීයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 586 ක් ලබා ගත් අතර, අද දිනයට තරගය ආරම්භ කරන විට ඇෆ්ඝනිස්තානය කඩුලු දෙකක් දැවී ලකුණු 95 ක් ලබා සිටියා.

දිනය නිමා වන විට ඇෆ්ඝනිස්තානය කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 425 ක්.

රහ්මත් ශාහ් නොදැවී ලකුණු 231 ක් පන්දු 416 කින් රැස් කර කඩුල්ලේ රැදී සිටින්නේ හයේ පහර 3ක් හා හතරේ පහර 23 ක් සමගින්.

හෂ්මතුල්ලාහ් ශහීඩි නොදැවී ලකුණු 141(276) යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 16 ක් ඇතුළත්.

ඔවුන් දෙදෙනා අතර මේ වන විට ගොඩ නැගී ඇති නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 361* (618) ක්.

ටෙස්ට් ඉතිහාසයේ පළමු වරට එක් දිනක් පුරා නොදැවී පන්දුවට පහර දුන් පිතිකරුවන් දෙදෙනා ලෙස වාර්තා අතරට එක්ව ඇත්තේ එංගලන්තයේ Jack Hobbs හා Herbert Sutcliffe.

ඔවුන් දෙදෙනා මීට වසර 100 කට පමණ පෙර ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී, එනම් 1925 වසරේ ජනවාරි 3 වැනිදා දිනය පුරා පන්දුවට පහර දී තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද ටෙස්ට් ඉතිහාසයේදී මෙම අපූර්ව වාර්තාව පිහිටුවා තිබෙනවා. පළමු වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම දක්ෂතාවය දක්වනු ලැබුවේ 1986 වසරේදී පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී අසංක ගුරුසිංහ හා අර්ජුන රණතුංගයි.

සනත් ජයසූරිය හා රොෂාන් මහානාම 1997 වසරේදී ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී පිට පිට දින දෙකකදී ද, මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර 2006 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී ද, කුසල් මෙන්ඩිස් හා ඇන්ජෙලෝ මැතිව්ස් 2019 වසරේ දී නවසීලන්තට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී ද මෙම දක්ෂතාවය දක්වනු ලැබුවා.