Ultimate magazine theme for WordPress.

කුසල්ගේ ඓතිහාසික ශතකය හා චරිත්ගේ තුන් ඉරියව් දක්ෂතා ශ්‍රී ලංකාවට සැනසුම්දායක ජයක් ගෙනෙයි

Match Report

කුසල් පෙරේරාගේ ඓතිහාසික ශතකය හා චරිත් අසලංකගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ නවසීලන්තය සමග පැවැති තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු හතක තියුණු ජයක් වාර්තා කරමින් 2025 වසරට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(2) හැකි වුණා.

නෙල්සන්හීදී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 219 ක දැවැන්ත ඉලක්කයක් නවසීලන්තයට හිමි වූ අතර, ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 211 ක් පමණයි. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම 2006 වසරෙන් පසුව නවසීලන්තයේදී ජය ගත් පළමු විස්සයි 20 තරගය වීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවෙන් දැවැන්ත ලකුණු පුවරුවක්

තරගය මෙරට වේලාවෙන් අලුයම 5:45 ට ආරම්භ වීමට නියමිතව තිබූ නමුත්, වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගනයේ පැවැති තෙත සහිත තත්ත්වය හේතුවෙන් නියමිත කාලයට වඩා මිනිත්තු 30ක ප්‍රමාදයකින් පසුවයි තරගය ආරම්භ කෙරුණේ. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 218 ක් ලබා ගත්තේ කඩුලු 5 ක් දැවී සිටියදීයි. එය විස්සයි 20 තරගයකදී ශ්‍රී ලංකාව රැස් කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 14(12) ක් ලබා සිටියදී දැවී ගියා. ඒ, මැට් හෙන්රි යොමු කළ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මිච් හේ හතරේ සීමාව ආසන්නයටම ගොස් රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හේතුවෙන්. කුසල් මෙන්ඩිස් ලකුණු 10 ක් ලබා සිටියදී එක් අවස්ථාවක දැවී ගිය නමුත්, සකාරි ෆෝල්ක්ස් යොමු කළ එම පන්දුව නිපන්දුවක් වීම හේතුවෙන් ඔහු තවදුරටත් පිටියේ රැදී සිටීමට වාසනාවන්ත වුණා. කෙසේ වෙතත්, ඔහු පන්දු 16 කින් ලබා ගත්තේ ලකුණ 22 ක් පමණයි.

පසුගිය තරගයේදී අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු මෙම තරගයේදී අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි අතර, ඔහු ලකුණු 17(12) කට දැවී ගියේ විස්සයි 20 තරගවලදී තවදුරටත් ඔහුට අවස්ථාව ලබා දිය යුතු දැයි දැඩි ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින්.

තරගය වෙනස් කළ සම්බන්ධතාවය හා කුසල්ගේ ශතකය

ලකුණු 83 දී තෙවැනි කඩුල්ල දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි නායක චරිත් අසලංක හා අංක 3 පිතිකරු කුසල් පෙරේරා 4 වැනි කඩුල්ලට ශතක සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

කුසල් පන්දු 46 කින් හයේ පහර 4 ක් හා හතරේ පහර 13 ක් සමගින් ලකුණු 101 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වසර 13 කට පසු පිතිකරුවෙකු විස්සයි 20 තරගයකදී වාර්තා කළ පළමු ශතකය රැස් කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි 20 තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ තෙවැනි ශතකය වන්නේ ද එයයි.

ඔහු අද දිනයේදී සිය විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ ලකුණු 2,000 සීමාව පසු කිරීමට සමත් වීම ද විශේෂත්වයක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් එම දක්ෂතාවය දැක් වූ පළමු පිතිකරු වන්නේ ඔහුයි. එමෙන්ම ඔහු මේ වන විට ලකුණු 50 සීමාව අභිබවා 16 වතාවක් විස්සයි 20 පිටියේදී ලකුණු රැස් කර ඇති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් එලෙස වැඩිම අවස්ථා ගණනකදී ලකුණු 50 ට වඩා රැස් කළ පිතිකරු ලෙස ද ඔහු අද වාර්තට අතරට එක් වුණා.

කුසල් පෙරේරා මෙම ඉනිමේදී තරමක් අපහසු උඩ පන්දු දෙකක් ලබා දුන් නමුත්, එම උඩ පන්දු සාර්ථක ලෙස රැක ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණේ නැහැ.

චරිත් හා කුසල් අතර ගොඩ නැගුණු ලකුණු 100 (45) ක අගනා සම්බන්ධතාවය බිද වැටුණේ චරිත් ලකුණු 46(24) කට දවා ගැනීමට සකාරි ෆෝල්ක්ස් සමත් වීමත් සමගයි. හයේ පහර 5 ක් හා හතරේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

කමිදු මෙන්ඩිස් හා මතීෂ පතිරණ වෙනුවට මෙම තරගය වෙනුවෙන් කණ්ඩායමට කැදවූ භානුක රාජපක්ෂ හා චමිදු වික්‍රමසිංහ නොදැවී ලකුණු 6 බැගින් ලබා ගත්තා. පන්දු යැවීමේදී මැට් හෙන්රි, ජේකබ් ඩෆී, සකාරි ෆෝල්ක්ස්, මිචෙල් සැන්ට්නර් හා ඩැරල් මිචෙල් කඩුල්ල බැගින් බිද හෙලුවා.

හඹා යාමට ප්‍රබල ආරම්භයක්

ලකුණු 219 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත ඉනිමේ ආරම්භක කඩුල්ලට පන්දුවාර 7.2 ක් තුළ ලකුණු 81 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ටිම් රොබින්සන් හා රචින් රවීන්ද්‍ර සමත් වුණා.

රොබින්සන් ලකුණු 37(21) කට දැවී ගියේ බිනුර ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේයි. මාර්ක් චැප්මන් ලකුණු 9කටත්, ග්ලේන් පිලිප්ස් ලකුණු හයකටත්, රවීන්ද්‍ර ලකුණු 69(39)  කටත් දවා ගැනීමට චරිත් අසලංක සමත් වුණේ තරගයේ පාලනය යළි ශ්‍රී ලංකාව වෙත නතු කරමින්.

කෙසේ වෙතත්, ඩැරල් මිචෙල් පන්දු 17 කින් හයේ පහර 4ක් හා හතරේ පහරක් සමග ලකුණු 35 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළා. ඔහු අසලංකට එරෙහිව ඉනිමේ 15 වැනි පන්දුවාරයට හයේ පහර 4 ක් එල්ල කරමින් නවසීලන්තය යළි සටනට අවතීර්ණ කළා. ඒ, අවසන් පන්දු 30 ට ජයග්‍රහනය සදහා නවසීලන්තයට ලකුණු 51 ක් පමණක් අවශ්‍ය වාතාවරණයක් නිර්මාණය කරමින්.

කෙසේ වෙතත්, 16 වැනි පන්දුවාරයේදී ක්‍රියාත්මක වූ වනිදු හසරංග විසින් මිච් හේ ලකුණු 8කටත්, මයිකල් බ්‍රේස්වෙල් එක් ලකුණකටත් දවා ගනිමින් තරගය යළි ශ්‍රී ලංකාවේ පාලනයට නතු කර ගත්තා. බ්‍රේස්වෙල් දවා ගැනීම සදහා අසලංක විසින් සුපිරි උඩ පන්දුවක් රැක ගැනීමට සමත් වීම ද විශේෂත්වයක්.

17 වැනි පන්දුවාරයේදී නුවන් තුෂාරගේ පන්දුවක් හමුවේ ඩැරල් මිචෙල් ලකුණු 35 කට දැවී ගියේ තරගයේ ජය පිළිබද නවසීලන්තයේ බලාපොරොත්තු සුන් කරමින්.

මිචෙල් සැන්ට්නර් නොදැවී ලකුණු 14(10) ක් හා සකාරි ෆෝල්ක්ස් නොදැවී ලකුණු 21(13) ක් ලබා ගනිමින් නවසීලන්තය ජයග්‍රහනය කරා රැගෙන යාමට අවසන් පන්දුවාරයේදීත් දැඩි සටනක නිරත වූ නමුත්, එය සාර්ථක වූයේ නැහැ.

පන්දු යැවීමේදී අසලංක ලකුණු 50 කට කඩුලු 3 ක් දවා ගත් අතර, වනිදු හසරංග ලකුණු 38 කට කඩුලු 2 ක් දවා ගත්තා. නුවන් හා බිනුර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

අද තරගයෙන් පරාජයට පත් වුවද විස්සයි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ නවසීලන්තයයි.