60 දෙනෙකුට කොන්ත්‍රාත්; යොවුන් කණ්ඩායමට නේවාසික පුහුණුවක්

දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් 60 දෙනෙකු සදහා වාර්ෂික කොන්ත්‍රාත්තු පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ක්‍රිකට් තරග පැවැත්වීම අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවක ක්‍රීඩකයින්ගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කොන්ත්‍රාත් පිරිනැමීම සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් සිදු කරනු ඇති.

මේ අතර, වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයින් සදහා නේවාසික පුහුණු කදවුරක් පැවැත්වීමට ද ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, එළඹෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය සහ 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමින්.

ඒ සදහා ක්‍රීඩකයින් 65 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ වන විටත් තෝරා ගෙන අවසන්.

එම ක්‍රීඩකයින්ට දින 21ක කාලයක් අදාළ නේවාසික පුහුණු කදවුර මහනුවර දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

යොවුන් ආසියානු කුසලාන තරගාවලිය ඩුබායිහී දී ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත අතර, යොවුන් ලෝක කුසලානය ලබන ජනවාරි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර, ‘A’ කණ්ඩායම වෙනුවෙන් සහ නැගී එන ක්‍රීඩකයින් වෙනුවෙන් ද නේවාසික පුහුණු වැඩසටහනක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ක්‍රීඩකයින් 26 දෙනෙකු එම වැඩසටහන සදහා එක් වනු ඇති.

එය ලබන 25 වනදා සිට මාසයකට ආසන්න කාලයක් දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

SRI LANKA NEWS
Comments (0)
Add Comment