T20 World Cup 2024 : නවසීලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

මේ අතර, 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායමේ නිල ජර්සිය ද අද එළිදැක්වුණා.

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නිවේදනය කර තිබෙනවා.

කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ඩෙවෝන් කොන්වේ ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. කොන්වේ පසුගිය පෙබරවාරි මාසයේ දී ඇගිල්ලක ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

ප්‍රධාන සංචිතයට අමතරව අතිරේක ක්‍රීඩකයෙකු ලෙස බෙන් සියර්ස් නම් කර තිබෙනවා.

අත්දැකීම් බහුල වේග පන්දු යවන්නන් වන ටිම් සවුති හා ට්‍රෙන්ට් බෝල්ට් ද සංචිතයේ ස්ථාන හිමි කර ගෙන ඇති අතර, සංචිතයට නම් කර ඇති ක්‍රීඩකයින් අතරින් මීට පෙර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියක් සදහා ක්‍රීඩා කර නොමැති ක්‍රීඩකයින් වන්නේ රචින් රවීන්ද්‍ර හා මැට් හෙන්රි පමණයි.

මෑතකදී වළලුකර සැත්කමකට මුහුණ දුන් වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්න්ට මෙන්ම පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක්ව සුවය ලබමින් සිටින වේග පන්දු යවන ක්‍රීඩක ක්යිල් ජමීසන්ට ද මෙම ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබෙනවා.

පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් නිසා පාකිස්තාන තරග සංචාරය අහිමි වූ ෆින් ඇලන් මේ වන විට සුවය ලබා ඇති බැවින් ලෝක කුසලාන සංචිතයට නම් කර ඇති අතර, පාකිස්තාන සංචාරයට එක් වූ ක්‍රීඩකයින් අතරින් ලෝක කුසලාන සංචිතයට නම් කර ඇත්තේ මයිකල් බ්‍රේස්වෙල්, මාර්ක් චැප්මන්, ජේම්ස් නීෂම් හා ඉෂ් සෝදි යන ක්‍රීඩකයින් පමණයි.

අයි.පී.එල් හා ආබාධ ඇතුළු විවිධ හේතූන් මත ප්‍රධාන ක්‍රීඩකයින් 15 දෙනෙකු පමණ පාකිස්තාන සංචාරයට එක් වූයේ නැහැ.

මේ අතර, 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායමේ නිල ජර්සිය ද අද එළිදැක්වුණා.

ජූනි පළමු වැනිදා ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතයි.

New Zealand squad:

Kane Williamson (c), Finn Allen, Trent Boult, Michael Bracewell, Mark Chapman, Devon Conway, Lockie Ferguson, Matt Henry, Daryl Mitchell, Jimmy Neesham, Glenn Phillips, Rachin Ravindra, Mitchell Santner, Ish Sodhi, Tim Southee, Ben Sears (travelling reserve)

Comments (0)
Add Comment