ෆෝල්ක්නර්ට දිවි ඇති තෙක් පාකිස්තානයෙන් ක්‍රිකට් තහනමක්

ඔස්ට්‍රේලියානු හා ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් ෆෝල්ක්නර් මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය අතරතුර දී හදිසියේ ඉන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ගෙවීම් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මතයි ඔහු එලෙස තරගාවලියෙන් ඉවත් වී ඇත්තේ.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය සිය ගිවිසුමට ගරු කිරීමක් සිදු නොකළ බවට ඔහු සමාජ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කර සිටියා.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීම සම්බන්ධයෙන් පාකිස්තාන ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලා සිටීමට ද ෆෝල්ක්නර් කටයුතු කළා.

“මම මුළු කාලයම මෙහි සිටි අතර ඔවුන් දිගටම මට බොරු කීවා” යනුවෙන් ජේම්ස් ෆෝල්ක්නර් සදහන් කළා.

කෙසේ වෙතත්, ඔහුගේ හැසිරීම පිළිබද කනගාටුව පල කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය හා ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ජේම්ස් ෆෝල්ක්නර්ගේ චෝදනා පදනම් විරහිත බවයි.

එමෙන්ම යළි කිසි දිනක ඔහුව පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට සම්බන්ධ කර නොගන්නා බව ද එම නිවේදනයේ සදහන්.

ගැටලුව සම්බන්ධයෙන් ජේම්ස් ෆෝල්ක්නර් හා පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ බළධාරීන් අතර පැවැති සාකච්ඡාවක් ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබූ බවත්, අනතුරුව ඔහු විසින් සිය පිත්ත හා හිස් ආවරණය හෝටලයේ ඉහළ මහලක සිට විදුලි පහන් මතට විසි කර තිබූ බවත් විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබුණා.

පසුව ඔහු ගුවන් තොටුපොලට වෙත පිටත්ව ගොස් ඇති අතර, ඊට පෙර සිදු වූ අලාභහානි වෙනුවෙන් ෆෝල්ක්නර් විසින් හෝටලයේ කළමණාකාරීත්වය වෙත ගෙවීමක් ද සිදු කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන් වුණේ ජේම්ස් ෆෝල්ක්නර්ගේ නියෝජිතයා විසින් ගෙවීම් ලබා ගැනීම සදහා පළමුව බ්‍රිතාන්‍යයේ බැංකු ගිණුමක තොරතුරු ලබා දී තිබූ බවයි.

කෙසේ වෙතත්, මාසයකට පසුව ඔහුගේ නියෝජිතයා විසින් ඔස්ට්‍රේලියාවේ බැංකු ගිණුමක තොරතුරු ගෙවීම් වෙනුවෙන් ලබා දී ඇති බව සදහන්.

නමුත්, ඔහුට ලැබිය යුතු සමස්ත මුදලින් 70% ක් මේ වන විට යොමු කර ඇත්තේ පළමුව ලබා දුන් බ්‍රිතාන්‍යයේ බැංකු ගිණුම වෙතයි.

එසේ තිබියදී තමාට හිමි අදාළ මුදල් යළි ඔස්ට්‍රේලියාවේ ගිණුම වෙත යොමු කරන ලෙස ෆෝල්ක්නර් විසින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයට දිගින් දිගටම අවධාරණය කර තිබෙනවා.

Comments (0)
Add Comment