සන්දීප් ලැමිච්හානේගේ ක්‍රිකට් තහනම ඉවතට

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා විශිෂ්ඨ දග පන්දු යවන ක්‍රීඩක සන්දීප් ලැමිච්හානේට (Sandeep Lamichhane) එරෙහිව නේපාල ක්‍රිකට් සංගමය පැනවූ තාවකාලික ක්‍රිකට් තහනම අවලංගු කිරීමට මේ වන විට තීරණය කර තිබෙනවා.

සැප්තැම්බර් මාසයේ දී 22 හැවිරිදි සන්දීප් ලැමිච්හානේට ක්‍රිකට් තහනමක් පැනවීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කළේ ඔහුට එරෙහිව එල්ල වී ඇති බාලවයස්කාර දැරියක් අතවරයට ලක් කළ බවට වන චෝදනාව හේතුවෙන්.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගෙන සිටි ඔහුට පසුගිය මාසයේ දී ඇප නියම වූ අතර, අවසන් නඩු තීන්දුව ලබා දෙන තුරු විදේශගත වීම තහනම් කිරීමටයි නියම කෙරුණේ.

ඇප නියම වීමත් සමගයි ඔහුට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම ද ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ.

ඒ අනුව මෙම මාසයේ දී නැමීබියාවට හා ස්කොට්ලන්තයට එරෙහිව නේපාලයේ දී පැවැත්වීමට නියමිත ක්‍රිකට් ලෝක කුසලාන දෙවන ලීගයේ තුන් කොන් ක්‍රිකට් තරගාවලිය සදහා ද ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති.

කෙසේ වෙතත්, නේපාල කණ්ඩායම විදෙස් සංචාරයක් සදහා සහභාගී වන විට ඒ වෙනුවෙන් එක්වීම සදහා ඔහුට අධිකරණයෙන් අවසර ගැනීමට සිදු වනු ඇති.

nepal news
Comments (0)
Add Comment