මුම්බාය සුපුරුදු පළමු පරාජය ලබයි – චෙන්නායට කඩුලු 5ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වන අදියරේ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුලු 5කින් පරාජයට පත් වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

අබුඩාබිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

සවුරාබ් තිවාරි ලකුණු 42ක් සහ ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 33ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවිමේ දී ලුන්ගි එන්ගිඩී කඩුලු 3ක් බිද හෙලූ අතර, දීපක් චහාර් සහ රවීන්ද්‍ර ජඩේජා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 4ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

අම්බටි රයිදු පන්දු 48කින් ලකුණු 71ක් ලබා ගත්තා.

ෆෆ් ඩු ප්ලෙසිස් නොදැවී ලකුණු 55ක් ලබා ගනිමින් චෙන්නායි ජය තහවුරු කළා.

ඔවුන් දෙදනා අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු සබදතාවය ලකුණු 115ක්.

මෙය මුම්බායි කණ්ඩායම හමුවේ අඛණ්ඩව තරග 5ක් පරාජයට පත්වීමෙන් අනතුරුව චෙන්නායි කණ්ඩායම ලැබූ පළමු ජය වීම විශේෂත්වයක්.

2012 වසරෙන් අනතුරුව මුම්බායි කණ්ඩායම මෙතෙක් පැවැති කිසිදු අයි.පී.එල් තරගාවලියක දී තමන් සහභාගී වූ පළමු තරගය ජය ගැනීමට සමත් වී නැහැ.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විට ක්‍රීඩා කර ඇති අයි.පී.එල් තරග හයම පරාජයට පත්ව තිබීම ද විශේෂත්වයක්.

Comments (0)
Add Comment