ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ක්‍රිකට් ආයතනය දැඩි තීරණයක් ගනියි

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාව මත ඔස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔහුව ඉදිරියේ දී කිසිදු අයුරකින් තරග සදහා තෝරා ගැනීමට සලකා නොබලන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තවද, සිදු කරන ලදැයි කියන වරද සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, ඔස්ට්‍රේලියාවේ දී සිදු කෙරෙන නඩු කටයුතු අවසන් වීමෙන් පසුව අදාළ ක්‍රීඩකයා වරදකරු වුවහොත් ඔහුට එරෙහිව දඩුවම් පැනවීමට ද කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ක්‍රීඩකයෙකු විසින් මෙවැනි වරදක් සිදු කිරීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකිරීමට ඔස්ට්‍රේලියානු නීති බලධාරීන්ට අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.

කාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ ඔහුව ඉරිදා(6) අලුයම් කාලයේ දී අත්අඩංගුවට ගෙන තිබුණේ සිඩ්නි නුවර හෝටලයකදීයි.

අනතුරුව ඔහුව අද දිනයේ දී සිඩ්නි නුවර අධිකරණයක් හමුවට වීඩියෝ මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කර තිබූ අතර, එහිදී ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර තිබූ බවයි වාර්තා වුණේ.

ධනුෂ්ක ගුණතිලක මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී ආබාධයකට ද ලක් වූ අතර, ඔහු වෙනුවට අශේන් බණ්ඩාර සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත්, ධනුෂ්කව මෙරටට නොයවා තවදුරටත් සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග අමතර ක්‍රීඩකයෙකු ලෙස රදවා ගැනීමටයි කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගෙන තිබුණේ.