ක්‍රීඩාංගන දෙකකදී පැවැත්වෙන LPL තරග කාලසටහන නිවේදනය කෙරේ

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද(13) ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව තරගාවලිය ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පළමු තරගය ගාල්ල හා යාපනය කණ්ඩායම් අතර දෙසැම්බර් 5 වැනිදා පැවැත්වෙන්නේ රාත්‍රී 7.30ටයි.

තරග 20කින් යුත් පළමු වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, අවසන් වටයේ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර අවසන් වටයේ තරග අවසන් පූර්ව තරග දෙකක් හා අවසන් තරගයක් ලෙස නොපැවැත්වෙන අතර, එය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙන් තරග 4කින් යුක්ත වනවා.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක අවසන් වටයේ පළමු තරගය හෙවත් qualifier 1 තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඉන් ජය ගන්නා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නවා.

ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි හා සිව්වන ස්ථාන හිමි කර ගන්නා කණ්ඩායම් අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් eliminator තරගයට සුදුසුකම් ලබා ගන්නා අතර, ඉන් ජය ගන්නා කණ්ඩායම අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් qualifier 2 තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

අවසන් වටයේ පළමු තරගයෙන් පරාජයට පත් වන කණ්ඩායමට එරෙහිවයි එම තරගය පැවැත්වෙන්නේ.

ඉන් ජය ගන්නා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගනු ඇති.

අවසන් තරගය දෙසැම්බර් 23 වනදා පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ සදහා අතිරේක දිනයක් ලෙස දෙසැම්බර් 24 වනදා ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තරග කාලසටහන –

SLC
SRI LANKA NEWS
Comments (0)
Add Comment