ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යෝජනාව ප්‍රතික්ෂේප කරයි

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ දී පළමුව සීමිත පන්දුවාර තරග වෙනුවට ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ යෝජනාවක් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ජූනි හා ජූලි මාසවලදී සති 7ක පමණ කාලයක් සිදු කරන මෙම තරග සංචාරයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පිළිවෙලින් 20යි 20 තරග 3ක්, එක්දින තරග 5ක් හා ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාව විසින් අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමත් සමග මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යම් අර්බුදයකට ලක්ව ඇති බව සදහන්.

ඊට හේතු වී ඇත්තේ රට තුළ පවතින ඉන්ධන හිගය හා බලශක්ති අර්බුදයයි.

සීමිත පන්දුවාර තරග පවත්වන ආකාරය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ දී අවසන් තීරණයක් ගන්නා බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ක්‍රික්බස් වෙබ් අඩවියට සදහන් කර ඇත්තේ.

බලශක්ති හා ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම අවස්ථාවේ දී සීමිත පන්දුවාර තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීම ඉතා දුෂ්කර කාර්යයක් බව නොරහසක්.

ඒ අනුව ටෙස්ට් තරගාවලිය පළමුව පවත්වා සීමිත පන්දුවාර තරග පැවැත්වීම සදහා තවදුරටත් යම් කාලයක් ගනිමින් රට තුළ පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ යෝජනාව ඔස්ට්‍රේලියාව වෙත ඉදිරිපත් කර තිබූ බව සදහන්.

පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා සීමිත පන්දුවාර තරග දිවා රාත්‍රී තරග ලෙස නොපවත්වා දිවා තරග ලෙස පැවැත්වීමට කටයුතු කිරීමට බොහෝ විට ඉඩ තිබෙනවා.

Comments (0)
Add Comment