එංගලන්තයේ නායකත්වය බෙන් ස්ටොක්ස්ට – හේතුව මෙන්න

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බෙන් ස්ටොක්ස්ට හිමිව තිබෙනවා.

ඒ, පෞද්ගලික හේතුවක් නිසා එම තරගයට නිත්‍ය නායක ජෝ රූට් ක්‍රීඩා නොකිරීම හේතුවෙන්.

ජෝ රූට්ගේ බිරිද ඔවුන්ගේ දෙවන දරු ප්‍රසූතියට සූදානමින් සිටින බැවින් ඔහු හෙට(1) දිනයේ දී පුහුණු සංචිතයෙන් ඉවත් වන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය පැවසුවේ.

ඒ අනුව එංගලන්ත සංචිතයේම ක්‍රීඩකයින් අතර හෙට ආරම්භ වන තෙදින පුහුණු තරගය ද ජෝ රූට්ට අහිමි වනු ඇති.

ඔහු සිය පවුලේ සාමාජිකයින් සමග රෝහලෙන් පිටව යාමෙන් පසුව දින 7ක කාලයක් ස්වයං නීරෝධායනයකට ද ලක් වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 8 වනදා ආරම්භ වන අතර, එම තරගයේ දී උප නායකයා ලෙස ජොස් බට්ලර් කටයුතු කරනවා.

බෙන් ස්ටොක්ස් එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දරන පළමු අවස්ථාව මෙයයි.

Comments (0)
Add Comment