අයර්ලන්තයට 40%ක දඩයක් හා ප්‍රසාද ලකුණු 2ක් කපා හැරේ

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 40%ක දඩ මුදලක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පසුගිය සෙනසුරාදා පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ඔවුන් පන්දුවාර යොමු කිරීමේ වේගය නියමිත පරිදි පවත්වා නොගැනීම හේතුවෙන්.

නියමිත කාලය තුළ ඔවුන් පන්දුවාර 2ක් අඩුවෙන් යවා ඇති බවට අනාවරණය වී ඇති අතර, ඒ අනුව තරග තීරක රිචී රිචර්ඩ්සන් විසින් අදාළ දඩුවම ඔවුන්ට පනවා ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

ඊට අමතරව මෙම වරද හේතුවෙන් ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනෙන් අයර්ලන්ත කණ්ඩායමට හිමිව තිබූ ප්‍රසාද ලකුණු 2ක් ද කපා හැරීමට පියවර ගෙන තිබෙනවා.

අයර්ලන්ත කණ්ඩායමේ නායක Andrew Balbirnie විසින් අදාළ වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු වන්නේ නැහැ.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් කොදෙව් කණ්ඩායමට ලකුණු 24ක ජයක් හිමි වුණා.

Comments (0)
Add Comment