Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකාව පරදා පාකිස්තානය 100 වැනි 20යි 20 ජය ලබමින් ඉතිහාසගත වෙයි

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගනිමින් පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග 100ක් ජයගත් ලොව පළමු රට බවට පත් වීමට පාකිස්තාන කණ්ඩායම අද(14) සමත් වුණා.

ඒ, දෙරට අතර ලාහෝර්හි පැවැති තෙවැනි හා අවසන් 20යි 20 තරගයෙන් ඔවුන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළමු කඩුලු 7 ලකුණු 65ක්ව තිබියදී බිද වැටුණා.

කෙසේ වෙතත්, අනතුරුව සටන්කාමී හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් මිලර් සිය 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ 3 වන අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 85ක් ලබා ගත්තා.

පන්දු 45කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 7ක් සහ හතරේ පහර 5ක් ඇතුළත්.

ෆහීම් අෂ්රෆ් යොමු කළ ඉනිමේ අවසන් පන්දුවාරයට ඩේවිඩ් මිලර් හයේ පහර 4ක් එල්ල කරමින් ලකුණු 25ක් (වයිඩ් පන්දුවකින් ලද අමතර ලකුණක් ද සමගින්) රැස් කිරීම කැපී පෙණුනා.

Janneman Malan ලකුණු 27ක් සහ Pite van Biljon ලකුණු 16ක් රැස් කළා.

පන්දු යැවීමේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සහිද් මහ්මූද් ලකුණු 40කට කඩුලු 3ක් දවා ගත්තා.

මෙය ඔහුගේ මංගල 20යි 20 ජාත්‍යන්තර තරගය වීම විශේෂත්වයක්.

ඔහු සිය පළමු පන්දුවාරයේ දී ම කඩුලු 2ක් දවා ගත් අතර, තෙවැනි කඩුල්ල ද දවා ගැනීම සදහා ඉතා ආසන්න අවස්ථාවක් හිමි වුණා.

එහිදී විනිසුරු විසින් ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ (Andile Phehlukwayo) දැවී ගිය අයෙකු ලෙස නම් කළ ද ඔහු විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යොදා ගනිමින් තමන්ට එරෙහි විනිසුරු තීරණය ආපසු හරවා ගැනීමට සමත් වුණා.

මොහොමඩ් නවාස් සහ හසන් අලී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව පන්දුවාර 20 තුළ දී දකුණු අප්‍රිකාව කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 164ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය කඩුලු 6ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 18.4ක් අවසානයේ දී යි.

නායක බබාර් අසාම් ලකුණු 44ක්(30) රැස් කළ අතර, මොහොමඩ් රිස්වාන් ලකුණු 42කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ටබ්රයිස් ශම්සි ලකුණු 25කට කඩුලු 4ක් බිද හෙලමින් දකුණු අප්‍රිකාවට යම් බලාපොරොත්තුවක් ගෙන දුන්න ද තරගය ජය ගැනීම සදහා එය ප්‍රමාණවත් වූයේ නැහැ.

ඩේවිඩ් මිලර්ගේ සුපිරි ඉනිමේ දර්ශන පහතින් –

Leave a comment