Ultimate magazine theme for WordPress.

ටෙස්ට් ක්‍රිකට් ස්ථර දෙකකට බෙදන්න යයි – ශ්‍රී ලංකාවට මොකද වෙන්නේ?

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ස්ථර දෙකකට බෙදා (two-tier Test system) තරග පැවැත්වීම සම්බන්ධයෙන් වත්මන් අයි.සී.සි සභාපති ජේ ශාහ්ගේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජේ ශාහ් හා ඔස්ට්‍රේලියානු මෙන්ම එංගලන්ත ක්‍රිකට් ප්‍රධානීන් අතර ඉදිරියේදී සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බවයි එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

ප්‍රමුඛ රටවල් 3 ලෙස (big three) සැලකෙන ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර වැඩි තරගාවලි සංඛ්‍යාවක් සංවිධාන කර ගැනීමට අවස්ථාව ලබා ගැනීමේ අරමුණ ද සහිතව මෙය සිදු කිරීමට අවධානය යොමු කර ඇති බව සදහන්. ඒ තුළින් ඔවුන්ගේ ආදායම ඉහළ නංවා ගැනීම මෙහි තවත් අරමුණක්.

මෙම යෝජනාවට අනුව ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය යන රටවල් වසර තුනක් ඇතුළත දෙවරක් එකිනෙකාට එරෙහිව (සිය රටේදී හා සංචාරයක් ලෙස ප්‍රතිවාදී රටේදී) තරග වැදීමට නියමිතයි.

කෙසේ වෙතත්, 2027 වසර දක්වා වන ජාත්‍යන්තර තරග කාලසටහන (FTP) 2022 වසරේදී නිකුත් කර ඇති බැවින් මෙලෙස ස්ථර දෙකක් යටතේ ටෙස්ට් තරග පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සිදු වන්නේ 2027 වසරෙන් පසුව පැවැත්වෙන තරගාවලි සදහායි.

2016 වසරේදී මේ පිළිබද අවධානය යොමුව තිබූ නමුත්, එය සාර්ථක කර ගැනීමට නොහැකි වුණා. එම අවස්ථාවේදී ඉන්දියාව, සිම්බාබ්වේ හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතන මෙම යෝජනාවට සිය විරුද්ධත්වය පල කළා. ඒ තුළින් තම ආදායමට හානියක් සිදු වන බවයි ඇතැම් ක්‍රිකට් ආයතන පෙන්වා දුන්නේ. එමෙන්ම කුඩා රටවලට ප්‍රධාන රටවල් සමග ක්‍රීඩා කිරීමට මෙම යෝජනාව යටතේ අවස්ථාව අහිමි වීම ද අදාළ යෝජනාවට විරුද්ධත්වය පල වීමට හේතු වී තිබුණා.

මෙම යෝජනාවට අනුව පළමු ස්ථරයට රටවල් 7ක් ද, දෙවැනි ස්ථරයට රටවල් පහක් ද ඇතුළත් කිරීමට ඉඩ ඇති බව සදහන්.

බොහෝ විට පළමු ස්ථරයට – ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය හා පාකිස්තානය යන රටවල් ද,

දෙවැනි ස්ථරයට – බටහිර ඉන්දීය කොදෙව්වන්, බංග්ලාදේශය, අයර්ලන්තය, ඇෆ්ඝනිස්තානය හා සිම්බාබ්වේ යන රටවල් ද ඇතුළත් වීමට ඉඩ ඇති බව සදහන්.

කෙසේ වෙතත්, එවැනි අවස්ථාවක ලෝක ටෙස්ට් ශූරතාවලිය වැනි තරගාවලියක් පවත්වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ. ඇතැම් විට ස්ථර දෙක යටතේම එවැනි තරගාවලියක් පවත්වා පළමු ස්ථරයේ අවසන් ස්ථානයට පත්වන කණ්ඩායම ඊළග තරගාවලියේදී දෙවැනි ස්ථරයට ඇතුළත් කිරීමටත්, දෙවැනි ස්ථරයේ පළමු ස්ථානයට පත් වන කණ්ඩායම ඊළග තරගාවලියේ දී පළමු ස්ථරයට උසස් කිරීමටත් මෙහිදී අවස්ථාවක් උදා වනවා.

කෙසේ වෙතත්, ඉන්දියාව, එංගලන්තය හෝ ඔස්ට්‍රේලියාව වැනි රටක් අවසන් ස්ථානයට පත්ව ඊළග අදියරේදී පහළ ස්ථරයට ඇද වැටුණහොත් මෙම යෝජනාවේ මූලික අරමුණුවලට පහරක් වදිනු ලබනවා. ඒ අනුව මෙම ස්ථර ක්‍රමවේදය කුමන ආකාරයකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන්නේ දැයි ඉදිරියේදී ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වනු ඇති.

මේ වන විට ඉන්දියාව, එංගලන්තය හා ඔස්ට්‍රේලියාව එකිනෙකාට විරුද්ධව ක්‍රීඩා කරන ටෙස්ට් තරගාවලි සදහා තරග පහ බැගින් ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. කෙසේ වෙතත්, අනෙකුත් රටවල් බොහෝ විට ක්‍රීඩා කරන්නේ තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලි වීම කැපී පෙනෙනවා.

මෙම වසර පුරාවටම ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ද ටෙස්ට් තරග 4 ක් පමණයි. ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් ද එම තරග සංඛ්‍යාව පිළිබද සිය අප්‍රසාදය පල කරමින් අද ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණා.