Ultimate magazine theme for WordPress.

තෙවැනි තරගය වැස්සට සේදෙයි – තරගාවලියේ ජය 2-0 ක් ලෙස ශ්‍රී ලංකාවට

Match Report

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද(19) වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් පන්දුවාර 21 ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 112 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

අනතුරුව විටින් විට වර්ෂාව පහව ගිය නමුත්, යළි යළිත් වර්ෂාව ඇද හැළුණු බැවින් තරගය අත්හැර දැමීමටයි විනිසුරුවන් තීරණය කළේ.

තරගය නතර කරන විට විල් යන්ග් නොදැවී ලකුණු 56 ක් හා හෙන්රි නිකල්ස් නොදැවී ලකුණු 46 ක් ලබා සිටියා. ටිම් රොබින්සන් ලකුණු 9කට දවා ගත්තේ මොහමඩ් ශිරාස් විසින්. එය ඔහුගේ මංගල එක්දින කඩුල්ල වීම ද විශේෂත්වයක්.

තෙවැනි තරගය ප්‍රතිපලයකින් තොරව නිමා වීමත් සමග එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගාවලියේ පළමු තරග දෙකේදී ලකුණූ 217 ක් රැස් කළ කුසල් මෙන්ඩිස් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.