තුන් ඉරියව් දක්ෂතා හමුවේ නවසීලන්තයේදී වසර 10 කට පසු ශ්‍රී ලංකාවට එක්දින ජයක්
Match Report

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දක්ෂතාත්, පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීමත්, පන්දු රකින්නන් ප්‍රදර්ශන කළ සුපිරි පන්දු රැකීමත් හමුවේ නවසීලන්තය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 140 ක අනර්ඝ ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද(11) සමත් වුණා.
මෙය නවසීලන්තයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වසර 10 කට පසුව ලැබූ පළමු එක්දින තරග ජය වන අතර, මෙම තරගයෙන් පරාජයට පත් වුවද තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ නවසීලන්තයයි.
පිතිකරුවන්ට යෝග්‍ය වූ ඔක්ලන්ඩ් තණතීරුවේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 290 ක් ලබා ගනිමින්.
ශ්‍රී ලංකා පිල ඉනිමට ලබා ගත් වේගවත් ආරම්භය මෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් මෙම තරගාවලියේදී මෙතෙක් දැක් වූ දක්ෂතා සැලකීමේදී එම ලකුණු සංඛ්‍යාව ජයග්‍රහනය සදහා ප්‍රමාණවත් වනු ඇත්දැයි යම් සැකයක් පැවැති නමුත්, ශ්‍රී ලංකා පන්දු යවන්නන් මෙම තරගයේදී නවසීලන්ත මුල්පෙල සම්පූර්ණයෙන්ම සුණු විසුණු කර දමමින් සත්කාරක කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 29.4 කදී ලකුණු 150 කට දවා ගැනීමට සමත් වුණා.
තරගාවලියේ පළමු තරග දෙකේදී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 4 පිළිවෙලින් ලකුණු 23 හා 22 දී බිද වැටුණු පසුබිමක මෙම තරගයේදී නවසීලන්ත ඉනිමේ පළමු කඩුලු පහ ලකුණු 21 ක් තුළ බිද වැටීම කැපී පෙනුණා.
ඉනිමේ සාර්ථක වූ එකම පිතිකරු වූ අංක 3 පිතිකරු මාර්ක් චැප්මන් පන්දු 81 කින් ලකුණු 81 ක් ලබා ගත්තේ හතරේ පහර 10 ක් හා හයේ පහරක් සමගින්. ඔහු ඉනිමේ අවසන් කඩුල්ල ලෙසයි දැවී ගියේ. මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 13 ක් , නේදන් ස්මිත් ලකුණු 17 ක් හා මැට් හෙන්රි ලකුණු 12 ක් ලබා ගනිමින් පසුපෙලට යම් ජීවයක් ගෙන දුන්නා.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් පළමු පන්දුවාරයේ සිටම මෙම තරගයේදී ඉතා හොදින් පන්දු යොමු කළ අතර, ඔවුන්ට පන්දු රකින්නන්ගෙන් ද හිමි වූයේ අනගි සහයෝගයක්. විශිෂ්ඨ උඩ පන්දු රැකීම් කිහිපයක්ම මෙම ඉනිම තුළදී දැක ගත වුණා.
පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු ලකුණු 26 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ හා ඒෂාන් මාලිංග ලකුණු 35 බැගින් ලබා දෙමින් කඩුලු 3 බැගින් බිද හෙලුවා. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පන්දු යවන්නන් මෙම ඉනිමේදී වයිඩ් ලකුණු 18 ක් සමගින් අතිරේක ලකුණු 21 ක් ලබා දී තිබුණා.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතක 3 ක් වාර්තා වූ අතර, කමිදු මෙන්ඩිස් ද ලකුණු 46 ක් ලබා ගත්තා.
පැතුම් නිස්සංක හා අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ලට පන්දුවාර 10 ක් තුළදී ලකුණු 66 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. පැතුම් පන්දු 31 කින් ලකුණු 50 ක් ලබා සිටියදී ආබාධයකට (groin/hip injury) ලක්ව පිටියෙන් ඉවත් වීම ශ්‍රී ලංකා ඉනිමට ප්‍රබල ලෙස බලපෑවා.
අවිශ්ක පන්දු 33 කින් ලකුණු 17 ක් ලබා සිටියදී දැවී ගිය අතර, අනතුරුව කුසල් මෙන්ඩිස් හා කමිදු මෙන්ඩිස් ලකුණු 87 (98)ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. කුසල් ලකුණු 54(48) කට දැවී ගියා.
යළි අසාර්ථක වූ චරිත් අසලංක ලකුණු නොලබා සිටියදී දැවී ගියේ මයිකල් බ්‍රේස්වෙල්ට එරෙහිව හයේ පහරක් එල්ල කිරීමට ගත් අසාර්ථක උත්සාහයක් හමුවේයි. ඔහු පළමු එක්දින තරගයේදී ලකුණු නොලබා සිටියදීත්, දෙවැනි තරගයේදී ලකුණු 4කටත් දැවී ගියා.
කමිදු මෙන්ඩිස්ගේ දැවී යාමෙන් පසු යළි පිටියට පිවිසි පැතුම් පන්දු 42 කින් ලකුණු 66 ක් ලබා සිටියදී දැවී ගියා. ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 6ක් ඇතුළත්.
ජනිත් ලියනගේ පන්දු 52 කින් ලකුණු 53 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 300 සීමාව ආසන්නයටම රැගෙන ගියා.
පන්දු යැවීමේදී මැට් හෙන්රි ලකුණු 55 කට කඩුලු 4 ක් දවා ගත් අතර, මිචෙල් සැන්ට්නර් ලකුණු 55 කට කඩුලු දෙකක් බිද හෙලුවා.
අවසන් තරගයේ වීරයා ලෙස අසිත ප්‍රනාන්දු ද, තරගාවලියේ වීරයා ලෙස මැට් හෙන්රි ද සම්මානයෙන් පිදුම් ලැබුවා.