තීරණාත්මක දකුණු අප්රිකා සංචාරයට ශ්රී ලංකා සංචිතය නම් කෙරේ

තීරණාත්මක දකුණු අප්රිකා තරග සංචාරය සදහා වන ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා. ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.
ලසිත් ඇඹුල්දෙණිය හා කසුන් රාජිත ටෙස්ට් සංචිතයට කැදවා ඇති අතර, ජෙෆ්රි වැන්ඩර්සේ හා රමේෂ් මෙන්ඩිස්ට සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙනවා. ඇඹුල්දෙණිය අවසන් වරට ටෙස්ට් තරගයක් ක්රීඩා කර ඇත්තේ වසර දෙකකට පෙරයි.
දකුණු පාදයේ ආබාධයකට ලක් වීම නිසා නවසීලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය සදහා වන ශ්රී ලංකා සංචිතයෙන් ඉවත් කළ විශ්ව ප්රනාන්දු මෙන්ම ඔහු වෙනුවට සංචිතයට නම් කිරීමෙන් පසුව දෙවැනි ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනූ නිශාන් පීරිස් දකුණු අප්රිකා සංචාරයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
වේග පන්දු යවන්නන් ලෙස විශ්ව හා කසුන් සමගින් මිලාන් රත්නායක, අසිත ප්රනාන්දු හා ලහිරු කුමාර ද සංචිතයට ඇතුළත්. ඇඹුල්දෙණිය, නිශාන් හා ප්රභාත් ජයසූරිය දග පන්දු යවන්නන් ලෙස සංචිතයට නම් කර තිබෙනවා.
දකුණු අප්රිකා ටෙස්ට් සංචාරයට එක් වන ශ්රී ලංකා ක්රීඩකයින් 10 දෙනෙකු මීට පෙර එරට බලා පිටත්ව ගිය අතර, ඔවුන් ශ්රී ලංකා උපදේශක පුහුණුකරු ලෙස කෙටි කාලීනව පත් කෙරුණු Neil McKenzie ගේ මගපෙන්වීම යටතේ පසුගිය 13 වැනිදා සිට දකුණු අප්රිකාවේ දී පුහුණු කදවුරකට ද එක්ව සිටිනවා.
සෙසු ක්රීඩකයින් එළඹෙන 22 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළේ.
පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස් හා අසිත ප්රනාන්දු නවසීලන්තයට එරෙහිව මේ දිනවල පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා ද ක්රීඩා කරමින් සිටි අතර, එළඹෙන දකුණු අප්රිකා සංචාරය අරමුණු කර ගනිමින් ඔවුන්ව අද(19) පැවැත්වීමට නියමිත අවසන් තරගයෙන් ඉවත් කර විවේකයක් ලබා දීමටයි ක්රිකට් තේරීම් කමිටුව පියවර ගත්තේ.
දකුණු අප්රිකා – ශ්රී ලංකා පළමු ටෙස්ට් තරගය එළඹෙන 27 වැනිදා Durban හීදී ද, දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 5 වැනිදා Gqeberha හීදී ද ආරම්භ වීමට නියමිතයි.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම පිළිබද බලාපොරොත්තුවක් තබා ගැනීමටනම් ශ්රී ලංකාව මෙම තරගාවලියේදී ඉහළ දක්ෂතා ප්රදර්ශනය කිරීම අතිශය වැදගත් වනවා.
ශ්රී ලංකා ටෙස්ට් සංචිතය –
01) Dhananjaya de Silva – Captain
02) Pathum Nissanka
03) Dimuth Karunaratne
04) Dinesh Chandimal
05) Angelo Mathews
06) Kusal Mendis
07) Kamindu Mendis
08) Oshada Fernando
09) Sadeera Samarawickrama
10) Prabath Jayasuriya
11) Nishan Peiris
12.) Lasith Embuldeniya
13.) Milan Rathnayake
14) Asitha Fernando
15) Vishwa Fernando
16) Lahiru Kumara
17) Kasun Rajitha