Ultimate magazine theme for WordPress.

පැතුම්ට මොකද වුණේ ? තරග කාලසටහන ගැන වනිදු අප්‍රසාදයෙන්

ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමේ දී ප්‍රමාණවත් විවේකයක් ක්‍රීඩකයින්ට ලැබෙන පරිදි ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ඇත්නම් එය ඉතාමත් සුදුසු බව ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිදු හසරංග පවසනවා.

ඇෆ්ඝනිස්තානය සමග පැවැති පන්දුවාර විස්සයි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

අවසන් තරගයේ දී පැතුම් නිස්සංක පාදයක ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට පන්දු 30 කින් ලකුණු 60 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට සිදු වුණා. තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වීමට ද එය බලපෑමක් එල්ල කළා.

මෙම ආබාධය හේතුවෙන් එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය සදහා පැතුම් නිස්සංකගේ සහභාගීත්වය ද මේ වන විට අවධානමකට ලක්ව තිබෙනවා.

දින 12 ක පමණ කාලයක් තුළ දී ශ්‍රී ලංකා කණ්ඩායමට තරග හයක් ක්‍රීඩා කිරීමට සිදු වූ බවත්, එලෙස ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීම ක්‍රීඩකයින්ට ඉතා අපහසු කටයුත්තක් බවත්, තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වනිදු කියා සිටියා.

එක් තරගයක් ක්‍රීඩා කිරීමෙන් පසුව පැය 24 ක විවේක කාලයකින් පසුව තවත් තරගයක් ක්‍රීඩා කිරීම ඉතා අපහසු බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ අතර, ඊයේ තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් වයිඩ් ලකුණු 11 ක් ලබා දී තිබූ අතර, සමස්ත අතිරේක ලකුණු ප්‍රමාණය සටහන් වූයේ 21 ක් ලෙසයි.

ජාත්‍යන්තර තරගයකදී එවැනි අත්වැරැදීම් සිදු කළ නොහැකි බවයි වනිදු හසරංග සදහන් කළේ. (දර්ශන පහතින් නරඹන්න)

 

Leave a comment