Ultimate magazine theme for WordPress.

පන්දුව වැදුණා ද නැද්ද? කෝලි සහ විනිසුරු අතරත් වචන හුවමාරුවක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් තීරණය වන තවත් තීරණාත්මක තරගයක් ඊයේ සාජා ක්‍රීඩාංගනයේ දී අවසන් වුණේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට කඩුලු 5 ක පරාජයක් අත්විඳීමට සලස්වමින්.

එම තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ජය හිමි වීමත් සමග ප්‍රසාද ලකුණු 12 ක් දිනාගනිමින් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ හයිදරාබාද් පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 120ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිදරාබාද් කණ්ඩායම පන්දුවාර 14.1ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

බැන්ගලෝර් කණ්ඩායම වෙනුවෙන් ඉසුරු උදාන පන්දුවාර 3 ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 20 කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත් වුණා.

මෙම තරගය තුළ වූ සිදුවීම් දෙකක් වැඩි දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත් වුණා.

එක් සිදුවීමක් වූයේ ඉසුරු උදාන යොමු කළ පන්දුවක් තණතීරුවේ පතිත නොවී පිතිකරණයේ නිරත වෙමින් සිටි කේන් විලියම්සන්ගේ උරහිස ආසන්නයටම පැමිණීමයි.

කෙසේ වෙතත්, විශේෂත්වය වූයේ එම පන්දුව පිටියේ විනිසුරු විසින් නිපන්දුවක් ලෙස සටහන් නොකිරීමයි.

විනිසුරුගේ මෙම ක්‍රියාකලාපය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්, විචාරකයින් ඇතුළු ක්‍රිකට් රසිකයන් වැඩි පිරිසකගේ විවේචනයට ද තුඩු දී ඇති අයුරු දක්නට ලැබෙනවා.

එමෙන්ම තරගයේ 9 වන පන්දුවාරයේ දී යුස්වේන්ද්‍ර චෙහෙල් යොමු කළ පන්දුවකට ව්රිධිමාන් සහා එල්ල කල පහරකින් පසුව පන්දුව පන්දුයවමින් සිටි චෙහෙල්ගේ ඇගිල්ලේ ගැවී නොගැවී පන්දු යවන්නාගේ අන්තයේ පිහිටි කඩුල්ලේ ගැටෙනවා.

අනතුරුව එම අන්තයේ සිටි පිතිකරුවා වූ කේන් විලියම්සන් දුවද්දී දැවී ගිය බවට පන්දු රකින්නන් විසින් ඉල්ලීමක් කළ අතර, පසුව පිටියේ විනිසුරු විසින් එය තෙවන විනිසුරුට යොමු කළා.

එම අවස්ථාව දීර්ඝ වේලාවක් කැමරා කෝණ කිහිපයකින් නිරීක්ෂණය කළ තෙවන විනිසුරු, විලියම්සන් දැවී නොගිය පිතිකරුවෙකු ලෙස නම් කළේ අදාළ පන්දුව පන්දු යවන්නාගේ ඇගිල්ලේ නොගෑවුණු බවට තීරණය කරමින්.

කෙසේ වෙතත්, මෙම තීරණයයට නායක විරාට් කෝලි නම් එතරම් කැමැත්තක් දැක් වූයේ නැහැ.

ඔහු විනිසුරු සමග මේ සම්බන්ධයෙන් යම් වචන හුවමාරුවක් ද සිදු කරනු දක්නට ලැබුණා.

වැඩි පිරිසකගේ අවධානය දිනා ගත් මෙම සිදුවීම් දෙක පහතින් නරඹන්න –

Leave a comment