කෝලිට යකා නැග්ග කෝලිටම ගිලිහුණු උඩ පන්දු දෙක

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වන තරගය ඊයේ(24) අවසන් වුණේ විරාට් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ලකුණු 97ක දැවැන්ත පරාජයක් හිමි කර දෙමින්.

පසුගිය තරග වාර කිහිපයේ දී ද සාර්ථක දක්ෂතා පෙන්නුම් නොකළ බැංගලෝර් කණ්ඩායම කෙරෙහි මෙවර බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ අවධානය යොමුව ඇත්තේ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන එම කණ්ඩායමේ සංචිතයට ඇතුළත්ව සිටීම හේතුවෙන්.

කෙසේ වෙතත්, මෙම තරගයේ දී ද ඔහුට කණ්ඩායමේ අවසන් 11 දෙනා අතරට පිවිසීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ.

මේ අතර, ඊයේ පැවැති තරගයේ පරාජයට විරාට් කෝලි දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතු වූ බව බොහෝ දෙනෙකු දරන මතයයි.

ඒ, ඔහු අතින් තරගයේ වැදගත්ම අවස්ථාවක කේ.එල්. රාහුල් ලබා දුන් උඩ පන්දු දෙකක් ගිලිහී යාම හේතුවෙන්.

පළමු උඩ පන්දුව ගිලිහී ගියේ කේ.එල් රාහුල් ලකුණු 83ක් ලබා සිටියදීයි.

එම සිදු වීම වූයේ පන්ජාබ් ඉනිමේ 17 වන පන්දුවාරයේ අවසන් පන්දුවටයි.

අනතුරුව ඊළග පන්දුවාරයේ අවසන් පන්දුවට ද කෝලි අතින් යළිත් පහසු උඩ පන්දුවක් ගිලිහී ගිය අතර, ඒ වන විට රාහුල් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 89ක්.

ඒ වන විට පන්ජාබ් කණ්ඩායම කඩුලු 3ක් දැවී ලබා සිටියේ ලකුණු 157ක් පමණයි.

ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් කේ.එල් රාහුල් නොදැවී ලකුණු 132ක් ලබා ගත්තේ බැංගලෝර් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහර දෙමින්.

ඒ අනුව අවසන් පන්දුවාර දෙකේ දී පන්ජාබ් කණ්ඩායම ලබා ගත් ලකුණු සංඛ්‍යාව 49ක්.

ඉන් ලකුණු 42ක්ම රැස් කළේ කේ.එල් රාහුල් වීම විශේෂත්වයක්.

පන්දු රැකීමෙන් අසාර්ථක වූ විරාට් කෝලි පිතිකරණයේ දී ද මෙම තරගයේ දී පන්දු 5කින් ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

ඔහුට උඩ පන්දු ද්විත්වය ගිලිහී ගිය අයුරු පහතින් – (Video Source – BCCI)

You might also like