Ultimate magazine theme for WordPress.

T20 ලෝක කුසලානයේ අවසන් තරගය වැස්සට සේදෙයි ද ? වැස්සොත් වෙන දේ මෙන්න

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා වර්ෂාවෙන් බලපෑම් එල්ල වීමේ දැඩි අවධානමක් ඇති බවට මේ වන විට කාළගුණ අංශ අනතුරු අගවා තිබෙනවා.

අවසන් මහා තරගය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී එළඹෙන ඉරිදා(13) පැවැත්වීමට නියමිතව ඇත්තේ පාකිස්තානය හා එංගලන්තය අතරයි.

ඉරිදා දිනයේ දී මෙල්බර්න් ප්‍රදේශයට වර්ෂාව ඇති වීමේ සම්භාවිතාව 95% ක පමණ ඉහළ අගයක් ගන්නා අතර, ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ සම්භාවිතාව ද 56% ක පමණ අගයක් ගන්නා බව කාළගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

අවසන් මහා තරගය සදහා අතිරේක දිනයක් ලෙස එළඹෙන සදුදා දිනය යොදා ගෙන ඇතත්, එදින ද වර්ෂාපතනය ඇති වීමේ ඉහළ සම්භාවිතාවක් පැවතීම විශේෂත්වයක්.

90% කට අධික වැසි ඇති වීමේ සම්භාවිතාවක් සදුදා දිනයේ දී අපේක්ෂා කෙරෙන අතර, ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ සම්භාවිතාව 20% කට ආසන්න අගයක් ගනු ලබනවා.

තරගයක ප්‍රතිපලයක් ලබා ගැනීම සදහා මූලික වටයේ දී කණ්ඩායම් දෙකම අවම වශයෙන් පන්දුවාර 5 ක් පිතිකරණයේ නිරත වී තිබීම අනිවාර්යය වුවත්, අවසන් පූර්ව හා අවසන් තරගයේ දී ප්‍රතිපලයක් ලබා ගැනීමටනම් කණ්ඩායම් දෙකම අවම වශයෙන් පන්දුවාර 10 බැගින් ක්‍රීඩා කර තිබිය යුතුයි.

ඉරිදා වැස්සොත් වෙන්නේ මොකක් ද?

වර්ෂාවෙන් ඉරිදා දිනයේ දී තරගයට බාධා එල්ල වුවහොත් පන්දුවාර ප්‍රමාණය අවම කරමින් තරගය කෙසේ හෝ පවත්වා අවසන් කිරීමට විනිසුරුවන් උත්සාහ දරනු ඇති.

එසේ අවසන් කිරීමට නොහැකි වුවහොත් එදින තරගය අත්හිටුවීමට සිදු වන මොහොතේ සිට සදුදා දිනයේ දී තරගය යළි ආරම්භ කිරීමට කටයුතු කිරීමට නියමිතයි.

කාසියේ වාසිය උරගා බැලීමක් සිදුවුවහොත් එම අවස්ථාවේ සිට තරගය ආරම්භ වූ තරගයක් ලෙස සලකනු ලබන අතර, ඒ අනුව සදුදා දිනයේ දී යළි මුල සිට තරගය ආරම්භ කිරීමක් (කාසියේ වාසිය ද සමග) සිදු වන්නේ නැහැ.

ඉරිදා දිනයේ දී තරගය ආරම්භ වී, අනතුරුව වර්ෂාව හේතුවෙන් පන්දුවාර ප්‍රමාණය අවම කිරීමට තීරණය කළ නමුත්, වර්ෂාව නිසා තරගය යළි ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වුවහොත්, තරගය සදුදා දිනයේ දී යළි පන්දුවාර 20 තරගයක් ලෙස පැවැත්වීමට කටයුතු කිරීමට නියමිතයි.

වර්ෂාව හේතුවෙන් තරගය දින දෙක තුළදීම අවම පන්දුවාර සංඛ්‍යාවක් යටතේ හෝ නිමා කර ගැනීමට නොහැකි වුවහොත්, කණ්ඩායම් දෙක සම ශූරයින් ලෙස ප්‍රකාශයට පත් කෙරෙනවා.

2002 වසරේ පැවැති අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් තරගය ද වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වූ බැවින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව සම ශූරයින් ලෙසයි ප්‍රකාශයට පත් කෙරුණේ.

දින දෙකක් අවසන් මහා තරගය පැවැති නමුත්, එවකට පැවැති නීති රීති අනුව දෙවන දිනයේ දී තරගය යළි මුල සිට ආරම්භ කෙරුණු අතර, එම අවසන් මහා තරග දෙකම වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරවයි නිමා වුණේ.

2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – නවසීලන්ත අවසන් පූර්ව තරගය ද වර්ෂාව හේතුවෙන් දින දෙකක් පුරා පැවැත්වුණා.

මෙවර තරගාවලියේ දී මෙල්බර්න් ක්‍රීඩාංගනයට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වූ අතර, තරග 3ක් කිසිදු පන්දුවක් නොයවා අතහැර දැමීමටයි සිදු වුණේ.

තරගාවලිය යටතේ ඉන්දියාව හා පාකිස්තානය අතර මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයට ද වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වනු ඇති බවට පළමුව අනාවැකි පල කර තිබූ නමුත්, එම තරගය කිසිදු ගැටලුවකින් තොරව පන්දුවාර 20 තරගයක් ලෙස පැවැත්වීමට අවස්ථාව උදා වුණා.

Show Comments (1)