Ultimate magazine theme for WordPress.

LPL සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමති නාමල්ගෙන් සහතිකයක්

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් තරගාවලිය සංවිධාන කිරීමට සම්බන්ධ සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන බවට ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් තමා සහතික වන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

තරගාවලියට එක්වන සියලුම කාර්ය මණ්ඩල, සහායක කාර්ය මණ්ඩල, දේශීය ක්‍රීඩකයින් සහ විකාශන කාර්ය මණ්ඩලය තරඟාවලිය ආරම්භ වීමට පෙර දින 14 ක නිරෝධායනයකට භාජනය කෙරෙනව බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සියල්ලන්ම PCR පරීක්ෂණවලට භාජනය කෙරෙන බවත්, තරඟාවලියට සහභාගී වීමට පැමිණෙන ජාත්‍යන්තර ක්‍රීඩකයින් ද PCR පරීක්ෂණයට භාජනය වන අතර ඔවුන් දින 7 ක නිරෝධායනයකට ලක් වන බවත්, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කළා.

සිය පෞද්ගලික වෙබ් අඩවියට සටහනක් එක්කරමින් අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියා.

“ශ්‍රී ලංකාව දැන් ඉදිරියට ගොස් ක්‍රීඩා ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොව අනෙකුත් සියලුම ක්‍රීඩාවලදී ජාත්‍යන්තර තරඟාවලි පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.” යනුවෙන් හෙතෙම සදහන් කළා.

“එමගින් සෘජු හා වක්‍ර රැකියා අති විශාල සංඛ්‍යාවක් නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා. තවද මෙය අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තලයේ දක්ෂතා වර්ධනය කර ගැනීමට සහ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් වගේම ගෝලීය අවස්ථාවන් ද මේ හරහා නිරාවරණය වනු ඇත.මෙරට තුළ දක්ෂතා සපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටින නමුත් ඔවුන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට ඇති බාධාවන් ඉවත් කිරීමට මෙම අවස්ථාවන් හරහා අපට හැකියාව ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා.”

“තවද, අන්තර්ජාතික තරඟාවලි සඳහා සත්කාරකත්වය සැපයීම සඳහා ශ්‍රී ලංකාව සතු ක්‍රීඩාංගණ ලබා දීමේ හැකියාව පිළිබඳව ද මා සාකච්ඡා කරමින් සිටිනවා.ක්‍රිකට් ක්‍රීඩාංගන පමණක් නොව, අප සතු සුදුසු පහසුකම් ඇති පාපන්දු, රග්බි සහ වෙනත් ක්‍රීඩාංගන ද ඒ සදහා යොදා ගැනීමට බලාපොරොත්තු වනවා. නව සාමාන්‍ය තත්ත්වය යටතේ මෙම සෑම පියවරකදීම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සලකා බලන බවටත්, ඒ සදහා මාගේ අමාත්‍යාංශය සියලු පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කරන බවටත් මා සහතික වනවා.”

“ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මාගේ වගකීමයි. එසේ කිරීමෙන් රටේ ප්‍රගතියට වාසි සැලසෙනවා. මෙමඟින් අත්‍යවශ්‍ය විදේශ විනිමය රට තුළට ගෙන එන අතර, ශ්‍රී ලංකාව කදිම ක්‍රීඩා ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ හැකියාව පවතිනවා.එමගින් මෙරට සංචාරක කර්මාන්තය ශක්තිමත් වෙමින්, රැකියා උත්පාදනය වන බැවින් දහස් ගණනකට සෘජු හා වක්‍ර ප්‍රතිලාභ හිමිවනවා.”

“අවශ්‍ය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මා උපරිමයෙන් කටයුතු කරන අතරම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම් වලින් මා ඉල්ලා සිටින්නේ සෑම තරගාවලියකම විනිවිදභාවය පවත්වාගෙන ‍යමින්, වංචාව දුෂණය පිටුදකිමින් ජාත්‍යන්තර නීතිවලට අනුකූලව ඒවා සංවිධානය කරන ලෙසයි. මාගේ නායකත්වය යටතේ තරඟාවලි වල විනිවිදභාවය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවට මා සහතික වනවා.”

Leave a comment