Ultimate magazine theme for WordPress.

ජැෆ්නා ස්ටැලියන්ස් ලාංඡනය සංශෝදනය කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ලාංඡනය (Logo) සංශෝදනය කර තිබෙනවා.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු ලෙස තාක්ෂණික ව්‍යවසායකයෙකු වන Microsoft Ventures හි නිර්මාතෘ සහ Unikrn නම් ඊ ක්‍රීඩා සමාගමේ (esports entertainment platform) සම නිර්මාතෘ රාහුල් සූද් එක්වීමෙන් පසුවයි මෙලෙස නව ලාංඡනයක් එළි දැක්වීමට පියවර ගෙන ඇත්තේ.

නව සන්නාම අනන්‍යතාවයක් නිර්මාණය කිරීම සදහා ඔහු අලෙවිකරණ කණ්ඩායම සමග සමීපව කටයුතු කළ බවයි ජැෆ්නා ස්ටැලියන්ස් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක් වුණේ.

“රාහුල්ගේ නවෝත්පාදනයන් සහ ක්‍රීඩාවේ ඉදිරි චින්තනය මෙන්ම ජාත්‍යන්තර වෙළඳනාම ගොඩනැගීම අතිවිශිෂ්ඨයි” යනුවෙන් යාපනය කණ්ඩායමේ ප්‍රධාන උපාය මාර්ග නිළධාරී (Chief Strategy Officer) ආනන්දන් ආර්නෝල්ඩ් මහතා සදහන් කළා.

මේ අතර, ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු ලෙස එක්වීමට ලද අවස්ථාව සම්බන්ධයෙන් රාහුල් සූද් පසුගියදා කැනේඩියානු පුවත් සේවයට [Canadian Press (CP) news agency] අදහස් දක්වා තිබුණා.

“ක්‍රිකට් ලෝලීන් කී දෙනෙක් සිටිනවා ද කියලා විශ්වාස කළ නොහැකියි” ඔහු සදහන් කළා. “ශ්‍රී ලංකාව තමන්ගේම ලීගයක් වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දියත් කරන බව දුටු විට මට එය විශ්වාස කළ නොහැකි වුණා. මම අදහස් කළේ මේක ජීවිත කාලයටම ලැබුණු එක් අවස්ථාවක් වගේ.”

Brindon Bagirathan විසින් ද ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ සම හිමිකාරීත්වය දරනු ලබන අතර, ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස තිළිණ කණ්ඩම්බි කටයුතු කරනවා.

කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ තිසර පෙරේරායි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග වදින දඹුල්ල සහ මහනුවර කණ්ඩායම්වල ලාංඡන ද සංශෝදනය කිරීමට මීට පෙර පියවර ගැණුනා.

Leave a comment