Ultimate magazine theme for WordPress.

“LPL යනු ශක්තිමත් ක්‍රීඩා ආර්ථිකයක් කරා යන ගමනේ ආරම්භයයි” ක්‍රීඩා ඇමති නාමල්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය රටේ ක්‍රීඩා ආර්ථිකය ගොඩනගමින්, මෙරට තරුණ ක්‍රීඩකයින්ගේ දක්ෂතා ජාත්‍යන්තරයට නිරාවරණය කිරිමේ පසුබිම සකසන බවට තමා විශ්වාසය පල කරන්නේ යැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

සිය බ්ලොග් අඩවියේ සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

මූල්‍ය විනිවිදභාවය සහ වගවීම මෙන්ම ක්‍රීඩකයින් තෝරා ගැනීමේ විනිවිදභාවය පවත්වාගෙන ‍යමින් ක්‍රියාකරන ලෙසට ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇති බවයි නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ.

තරඟාවලිය ජාත්‍යන්තර නීති හා රෙගුලාසිවලට අනුකූලව සංවිධාන කළ යුතු අතර තරග පාවාදීම්වලට අදාළ නීති දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවට ද තමා දැනුම් දී ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයා සිය සටහන ඔස්සේ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

සම්පූර්ණ සටහන පහතින් – 

ලංකා ප්‍රිමියර් ලීග් 2020 නොවැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිතව ඇති අතර එය ගෝලීය ක්‍රීඩා සිතියම මත ශ්‍රී ලංකාව ශක්තිමත් කරන තරගාවලියක් වන අතර දේශීය හා ජාත්‍යන්තර ක්‍රීඩා ප්‍රේක්ෂකයින්,ජනමාධ්‍යයන්හී අවධානය මේවන විටත් මෙම තරගාවලිය වෙත යොමුව තිබෙනවා.

අප කවුරුත් දන්නා පරිදි, පසුගිය මාස ගණනාවක් තිස්සේම , ශ්‍රී ලංකාව ද ලෝකයේ සෙසු රටවල් මෙන් ගෝලීය COVID-19 වසංගතයේ බලපෑමට ලක්ව සිටින අතර ඒ අනුව මෙම වසංගතය පාලනය කිරීමට රට තුළ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නිරෝධායන නීති රීතී ක්‍රියාත්මක කරමින් සිටිනවා. මා මෙම ලිපිය ලියන විටත්,ශ්‍රී ලංකාව විශාලතම කොවිඩ් පොකුරට මුහුණ දී සිටින අතර එය පාලනය කිරීමට සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය ‍යාන්ත්‍රණය පූර්ණ කැපවීමෙන් ක්‍රියාකරමින් සිටිනවා.

COVID-19 වසංගතය හේතුවෙන් LPL 2020 තරඟාවලිය නොවැම්බර් තුන්වන සතිය දක්වා කල් දැමීමට තීරණය කළ අතර ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශය,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ LPL 2020 සංවිධායකයින් එක්ව ක්‍රීඩකයින්ගේ, ප්‍රේක්ෂකයින්ගේ සහ රටේ දීර්ඝකාලීන යහපත වෙනුවෙන් නොවැම්බර් 21 සිට දෙසැම්බර් 13 දක්වා කාලය තුළ LPL 2020 තරගාවලිය පැවැත්වීමට මේ වනවිට සැලසුම් කරමින් සිටිනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සාර්ථකත්වයට පසුව, ශ්‍රී ලංකාවේ එවැනි තරගාවලියක් පැවැත්වීමේ හැකියාව වසර ගණනාවක් තිස්සේ බොහෝ කතාබහට ලක් වූ නමුත් එම සාකච්ඡා සාකච්ඡාවකින්ම අවසන් වුනේ මෙරට ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තලයේ 20-20 තරග අත්දැකීම් ලැබීම අහේතුකව කල් දමමින්. කෙසේ වෙතත් මෙම අභියෝගාත්මක මොහොතේ වුවද මෙම තරඟාවලිය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සති ගණනාවක් තිස්සේ සාකච්ඡා කරමින් එය ක්‍රියාවට නැංවීමට පියවර ගත්තේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සදහා මෙම තරගාවලිය අත්‍යවශ්‍ය වන නිසයි. විශේෂයෙන් මෙම තරගාවලිය රටේ ක්‍රීඩා ආර්ථිකය ගොඩනගමින්, මෙරට තරුණ ක්‍රීඩකයින්ගේ දක්ෂතා ජාත්‍යන්තරයට නිරාවරණය කිරිමේ පසුබිම සකසන බව මාගේ විශ්වාසයයි.

මෙම ලිපිය මගේ බ්ලොග් අඩවියේ පළ වන විටත්, ක්‍රිස් ගේල්, ඇන්ඩ්‍රේ රසල්, ෂාහිඩ් අෆ්රිඩි, ෆෆ් ඩු ප්ලෙසිස් සහ කාලෝස් බ්‍රාත්වේට් 20-20 ක්‍රිකට් පිටිය ආක්‍රමණය කළ විශාල නම් දැරූ ක්‍රීඩකයින් රැසක් සහභාගීත්වය ස්ථිර කර තිබීම මේ වසරේදී එල්.පී.එල්. තරගාවලියේ සාර්ථකත්වය පිළිබද සුබ පෙරනිමිත්තක්.

මෑත සතිවල දී මෙම තරඟාවලිය ඇතැම් මාධ්‍යවල විවේචනයට ලක්ව තිබු නමුත් මේ වනවිට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව තරඟාවලිය සුමටව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටිනවා. මෙය අපගේ පළමු තරගාවලිය වන අතර, පවතින අඩුපාඩු නිවැරදි කරගනිමින් ඉදිරියට යා යුතු බව අප ද පිළිගන්නවා. එම අඩුපාඩු නිවැරදි කර රට තුළ වාර්ෂික තරඟාවලියක් ලෙස එල්.පී.එල්. තරගාවලිය ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වනවා.

මේ මොහොතේ සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණ නම්, මේ ආකාරයේ ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලි හරහා මෙරට ක්‍රීඩා ආර්ථිකය නංවාලීමට හැකි වනවා. එය පසුගිය වසර කිහිපය තුළ මෙන්ම විශේෂයෙන් පසුගිය මාස කිහිපය තුළ COVID-19 වසංගතය හේතුවෙන් පසුබෑමට ලක්ව තිබුනා. එල්.පී.එල්. තරගාවලිය අපගේ තරුණ ක්‍රීඩකයින්ට වැඩි ජාත්‍යන්තර අවධානයක් හා පිළිගැනීමක් ලබා දෙනු ඇති අතර එවැනි ඉහළ තරඟකාරී තරඟාවලියක් විනෝදාස්වාදය ඉහළ නැංවීමට පමණක් නොව, ක්‍රීඩා ආර්ථිකයට වගේම රටේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ඇත. කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීමට වගේම ක්‍රීඩාව ඔස්සේ ගෝලීය සිතියම තුළ ශ්‍රී ලංකාව ශක්තිමත් රාජ්‍යයක් ලෙස ඔසවා තැබීමට ද මෙම තරගාවලිය ශක්තිමත් පදනමක් වනු ඇති.

එල්.පී.එල්. 2020 පළමු 20-20 තරගාවලිය රටේ ප්‍රමුඛතම වාර්ෂික තරගාවලියක් බවට පත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මාගේ අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පුර්ණ සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වනවා. ඒ අනුව මෙම තරගාවලිය අපට වඩාත් සාර්ථකව ඉදිරියට කරගෙන යා හැකිය. තවද ශ්‍රී ලාංකික හා ජාත්‍යන්තර ක්‍රීඩකයින් සඳහා වේදිකාවක් නිර්මාණය කිරීමට ද මෙවැනි තරඟාවලියකින් ලැබෙන ප්‍රතිලාභ සුවිශාලයි.

ඒ අතරම, තරඟාවලිය සඳහා අවශ්‍ය සියලු ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් මා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා ඇත්තේ මූල්‍ය විනිවිදභාවය සහ වගවීම සහ ක්‍රීඩකයින් තෝරා ගැනීමේ විනිවිදභාවය පවත්වාගෙන ‍යමින් ක්‍රියාකරන ලෙසයි. තරඟාවලිය ජාත්‍යන්තර නීති හා රෙගුලාසිවලට අනුකූලව සංවිධානය කළ යුතු අතර තරග පාවාදීම්වලට අදාළ නීති දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත් මා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඔවුන්ට දැනුම් දී තිබෙනවා.

තවද, සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ තරඟාවලියට පෙර, තරගාවලිය අතරතුර මෙන්ම තරගාවලියෙන් පසුව ක්‍රියාත්මක කළ යුතු වනවා.

එල්.පී.එල්. තරගාවලිය සුරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගංනයෙන් ආරම්භවී පසුව තරගාවලියේ අවසන් භාගයේ තරග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගංනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එල්.පි.එල් යන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ රටේ යහපත උදෙසා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රියාවට නැංවීමට අදහස් කරන බොහෝ ජාත්‍යන්තර තරඟාවලි වල ආරම්භය වන අතර මෙරට ක්‍රීඩකයින් ලෝකයට ගෙන යෑමටත් ජාත්‍යන්තර ඉසව් සඳහා කදිම ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත කිරීමටත් අවශ්‍ය කාලයයි මේ. අපි මෙම සිතුවිල්ල හරහා දිරිමත් වෙමින් අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වෙනසක් කිරීමට උත්සාහ කරන අයට සහාය දැක්විමට කාලයයි මේ. මෙය එහි ආරම්භයයි.

(මූලාශ්‍රය – www.namalrajapaksa.com)

Leave a comment