Ultimate magazine theme for WordPress.

LPL මැලේසියාවේ දී හෝ අරාබියේ දී පැවැත්වීමේ සූදානමක් – ආරම්භයත් කල් යන ලකුණු

ලබන 21 වනදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භය සම්බන්ධයෙන් යළි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වනවා.

ඒ, විදෙස් ක්‍රීඩකයින්, විස්තර විචාරකයින් සහ තරග විකාශන කාර්ය මණ්ඩල සදහා මුහුණ දීමට සිදු වන නිරෝධායන කාලසීමාව මෙන්ම මේ වන විට රට තුළ ඇතිව තිබෙන කොරෝනා රෝගී තත්ත්වයේ ව්‍යාප්තිය හේතුවෙන්.

ඒ අනුව තරගාවලිය යළි සතියකින් පමණ කල් දැමීමට සිදු වනු ඇති බව සදහන්.

තරගාවලියේ අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න මහතා ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට සදහන් කර ඇත්තේ තරගාවලිය කෙසේ හෝ මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටින බවයි.

එල්.පී.එල් තරගාවලිය පැවැත්විය හැකි ආකාර 3ක් සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමුව ඇති බව හෙතෙම පෙන්වා දී තිබෙනවා.

“පළමු ආකාරය තමයි තරගාවලිය පල්ලේකැලේ සහ හම්බන්තොට යන ක්‍රීඩාංගන දෙකේ දී පැවැත්වීමට කටයුතු කිරීම” යනුවෙන් ඔහු කියා සිටියා.

“දෙවැනි ක්‍රමය තමයි සියලු තරග එක් ක්‍රීඩාංගනයකදී පැවැත්වීම. එමඟින් ක්‍රීඩකයන්ට සහ කාර්ය මණ්ඩලයට ජෛව ආරක්ෂිත බුබුලක් වටා ඇති විධිවිධාන වඩාත් සරල වේවි.

අවසන් විකල්පය තමයි තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හෝ මැලේසියාවේ දී පැවැත්වීම. ඒ තීරණය අපි බොහෝ විට නොගනීවි. මේක ශ්‍රී ලාංකීය තරගාවලියක්. ඉතිං ඒක මෙහේ ක්‍රීඩා කළ යුතුයි. නමුත් මේක බොහෝ බලාපොරොත්තු තබා සිටිය තරඟාවලියක්. ඒ සඳහා ක්‍රීඩා කිරීමට බලා සිටින ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ නිසා අපට එය ක්‍රීඩා කිරීමට අවශ්‍යයි. ”

ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් සහ තරගාවලියේ සංවිධායකයින් හෙට (4) දිනයේ දී සෞඛ්‍ය බළධාරීන් හමු වී මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා සිදු කිරීමට නියමිත බව ද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සදහන් කළා.

ක්‍රීඩකයන්ට දින පහේ සිට හත දක්වා නිරෝධායන කාලයක් පමණක් ලබා ගැනීම මෙන්ම අනතුරුව ඔවුන්ට LPL බුබුල තුළ පුහුණුවීම් ආරම්භ කිරීමට අවසර ලබා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම් අතර වන බව සදහන්.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 21 වනදා සිට දෙසැම්බර් 13 වනදා දක්වා මහනුවර පල්ලේකැලේ සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර ඇත්තේ.

Leave a comment