Ultimate magazine theme for WordPress.

LPL තරගාවලියේ දී විදෙස් ක්‍රීඩකයින්ට PCR පරීක්ෂණ 10ක්

එල්.පී.එල් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයින්ගේ සහ නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය සහතික කිරීම සඳහා ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ගයන් ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව එම ආරක්ෂක වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් ලෙසින් ක්‍රීඩකයින් සහ නිලධාරීන් ජෛව ආරක්ෂිත පරිසරයකට යොමු කෙරෙන අතර එය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිශ්චිතව දක්වා ඇති දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් යටතේ ක්‍රියාත්මක වනු ඇති.

“එල්.පී.එල් තරග පැවැත්වෙන පරිශ්‍රය තුළ නිර්මාණය කර ඇති මෙම ජෛව ආරක්ෂිත පරිසරය ලොව පුරා ඉහළ පෙළේ ලීගයන් ක්‍රීඩා කරනු ලබන පද්ධතියක්. ඒ වගේම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් ද්වීපාර්ශ්වික ක්‍රිකට් තරගාවලි පැවැත්වීමේදී භාවිතා කරන්නේ මේ ක්‍රමයමයි” යනුවෙන් ජෛව ආරක්ෂිත බුබුල පිළිබඳව එල්.පී.එල්. තරගාවලියේ සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරන මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කර සිටියා.

එල්.පී.එල්. තරගාවලියට යොදා ඇති ජෛව ආරක්ෂිත පද්ධතියට අනුව තරගාවලියට සහභාගිවන සෑම විදෙස් ක්‍රීඩකයකුටම පැය 72 ක පරතරයකින් යුක්ත වූ පී.සී.ආර්. පරීක්ෂණ 2 කට මුහුණ දීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණීමේ අවස්ථාව උදාවනවා.

අනතුරුව ඔවුන් මෙරටට පැමිණීමේදී නැවතත් පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණ දිය යුතුයි.

ඒ අනුව තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා පැමිණෙන ක්‍රීඩකයින් සමස්ත තරගාවලිය පුරාම අවම වශයෙන් පී.සී.ආර්. පරීක්ෂණ 10 කට භාජනය කෙරෙනු ඇති.

තරගාවලියේ සංවිධාන කටයුතු සම්බන්ධව පත්කර සිටින නිලධාරීන්ට ද පී.සී.ආර්. පරීක්ෂණ ගණනාවකට මුහුණ දීමට සිදුවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

අදාළ පරීක්ෂණවලදී යම් ක්‍රීඩකයකු හෝ නිලධාරියකුට කොවිඩ් 19 රෝගය ආසාදනය වී ඇති බවට පෙන්නුම් කළහොත්, ඔහු හෝ ඇයව වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කර නම් කරන ලද අතරමැදි සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් වෙත ප්‍රතිකාර සඳහා යොමු කරනු ලබනවා.

එල්.පී.එල්. තරගාවලියේ ආරක්ෂිත භාවය තහවුරු කිරීම වෙනුවෙන් හොඳින් සකස් කරන ලද ජෛව ආරක්ෂිත බුබුල හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කිරීම හරහා ආසාදනය වූ පුද්ලයාව ඉක්මනින් හඳුනාගැනීමේ හැකියාව උදාවන බව ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ ස්ථාපනය කර ඇති ජෛව ආරක්ෂිත පරිසරය සඳහා සෑම කණ්ඩායමක් ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍යවරුන් 5 දෙනෙකු නම් කර තිබෙනවා.

ඊට අමතරව සෙසු පිරිස අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍යවරුන් දෙදෙනෙකු ද රාජකාරිවල නියැළී සිටින බව සදහන්.

ක්‍රීඩා අමාත්‍යාංශයේ වෛද්‍යවරියක වන දමින්දා අත්තනායක මහත්මිය අදාළ වෛද්‍ය කණ්ඩායමේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන අතර ජෛව ආරක්ෂිත බුබුලේ ආරක්ෂාව පිළිබඳ වගකීම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබනවා

එහි අභ්‍යන්තර වළල්ල යුද හමුදා කමාන්ඩෝ භටයින් විසින් පවත්වාගෙන යන බව ද සදහන්.

මෙම තරගාවලිය පවත්වාගෙන යෑම වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති පද්ධතිය හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්‍යක්ෂවරුන් සහ ඔවුන්ගේ කණ්ඩායම් විසින් අධීක්ෂණය කරනු ලබන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිරන්තරයෙන්ම සෞඛ්‍ය බලධාරීන් සමඟ සම්බන්ධතා පවත්වමින් ඒ පිළිබඳව සොයා බලනු ලබනවා.

(මූලාශ්‍රය – ශ්‍රී ලංකා ක්‍රිකට්/SLC)

Leave a comment