Ultimate magazine theme for WordPress.

LPL තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට දේශීය ක්‍රීඩකයින් 258 ක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව පසුගිය 19 වැනිදා පැවැති ක්‍රීඩකයින් තේරීමේ අවස්ථාවට (Player Draft) දේශීය තරග පිටියේ තරග වදිනු ලබන ක්‍රීඩකයින් 258 දෙනෙකු ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගාවලියට ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම් 5 හිමිකාරීත්වය විසින් නම් කරන ලද පුහුණුකරුවන් සහ කළමනාකරුවන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමේ අවස්ථාව සිදු කෙරුණා.

ඒ සදහා කාණ්ඩ 4 ක් යටතේ දේශීය ක්‍රීඩකයින් ඉදිරිපත් කර තිබූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

වර්ගීකරණය කරන ලද සියලුම ක්‍රීඩකයින් අදාළ තේරීමේදී ප්‍රදර්ශනය කිරීමට තරගාවලි සංවිධායකයින් කටයුතු කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කරන ලද දේශීය ප්‍රධානතම සංඛේතාත්මක ක්‍රීඩකයින් හැරුණු විට සෙසු සියළුම ක්‍රීඩකයින් තෝරා ගැනීමේ එකම අයිතිය වූයේ කණ්ඩායම් ගත කිරීමේදී ඔවුන් සතු ඡන්ද අයිතිය පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

ඒ අනුව දේශීය ක්‍රීඩකයින් පහත සඳහන් නිර්ණායක යටතේ වර්ගීකරණයට ලක් කර තිබුණා.

‘Gold Local’ – ක්‍රිකට් ආයතනය සමඟ ප්‍රධානතම ගිවිසුමට ඇතුළත්ව සිටින ජාතික තලයේ සහ දේශීය ක්‍රීඩකයින්ගෙන් සමන්විත වූ සමස්ථ ක්‍රීඩකයින් 21 දෙනෙකු මෙම කාණ්ඩයට ඇතුළත්.

‘Classic Local’ – මෙම ඛාණ්ඩයට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගතව සිටින ජාතික සහ දේශීය ක්‍රීඩකයින් ඇතුළත්ව සිටි අතර, මෙම කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 36 දෙනෙකු ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සඳහා ඉදිරිපත් කෙරුණා.

‘Emerging Local’  – නැගී එන දේශීය කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 109 දෙනෙකු අදාළ තෝරා ගැනීමේ අවස්ථාව සඳහා යොමු කර තිබුණා. දේශීය ක්‍රීඩකයින්ගේ පුහුණු කටයුතු සිදුකරනු ලබන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් විසින් එම ක්‍රීඩකයින් අදාළ ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවට ඇතුළත් කළ බව සදහන්.  මෙම කාණ්ඩය යටතේ සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් තෝරා ගැනීම අනිවාර්යය කර තිබුණා.

‘Supplementary Local’  – ‘පරිපූරක දේශීය’ කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් අනූ දෙදෙනෙකු ක්‍රීඩක තෝරා ගැනීමට ඇතුළත් කර තිබුණා. දේශීය ක්‍රීඩා සමාජ නියෝජනය කරන ක්‍රීඩකයින් සහ නැගී එන ක්‍රීඩකයින්ගෙන් මෙම ඛාණ්ඩය සමන්විතයි. මෙම කාණ්ඩයට අයත් සියළුම ක්‍රීඩකයින්ද තෝරා පත් කරන ලද්දේ ක්‍රීඩා සමාජ සහ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන්ගේ අධීක්ෂණය යටතේයි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ක්‍රීඩකයින් තෝරා ගැනීම හෙවත් කෙටුම්පත් කිරීමේ (Player Draft) දෙවැනි අදියර ලබන පළමු වැනිදා සිදු කිරීමට නියමිතයි.

එහි පළමු අදියරේ දී විදෙස් ක්‍රීඩකයින් ඇතුළුව ක්‍රීඩකයින් 91 දෙනෙකු තෝරා ගැනීමට කණ්ඩායම් කළමණාකාරීත්වය කටයුතු කළා.

Leave a comment