Ultimate magazine theme for WordPress.

“LPL තරගාවලියේ අනාගතය ගැන පවතින්නේ දැඩි විශ්වාසයක්” – ශ්‍රී ලංකා ක්‍රිකට්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සඳහා රජයේ අනුමැතිය හිමි වීම නිසා තරගාවලියේ අනාගතය සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගාවලිය සංශෝදන කිහිපයක් යටතේ පැවැත්වීමට ගත් තීරණය පිළිබද අදහස් දක්වමින් එල්.පී.එල් තරගාවලියේ අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළා.

එල්. පී. එල් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සෞඛ්‍ය උපදෙස් පරිදි නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 17 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ.

කොවිඩ් 19 වසංගතයේ බලපෑම් හේතුවෙන් තරගාවලිය පැවැත්වීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් අතර සකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබුණා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව තරගාවලිය පැවැත්වීම සඳහා රජය විසින් අනුමැතිය ද මේ වන විට ලබා දී තිබෙනවා.

“තරගාවලිය පැවැත්වීම සඳහා රජයේ අනුග්‍රහය ලැබීම නිසා අපිට තරගාවලියේ ඉදිරිය ගැන ලොකු විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම තරගාවලිය හම්බන්තොට පමණක් පැවැත්වීම නිසා තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කරනු ලබන ආරක්ෂිත ජෛව බුබුළ (Bio-Secure Bubble) පවත්වාගෙන යෑමත් පහසු කරවන්නක්” යනුවෙන්  තරගාවලියේ අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න මහතා සඳහන් කර සිටියා.

මේ අතර තරගාවලියේ සංවිධාන කටයුතු සිදුකරනු ලබන අයි. පී. ජී. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා සදහන් කර ඇත්තේ මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත යුතු හොඳම තීරණයට එළැඹීම පිළිබද තමා ස්තූතිවන්ත වන බවයි.

“අසීරු කාල වකවානුවක වුණත් ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත යුතු හොඳම තීරණයට එළැඹීම ගැන මම ස්තූතිවන්ත වනවා. එය පහසු කටයුත්තක් නොවේ. කොහොම වුණත් මේ ගත්ත හොඳ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් යහපැවැත්මට උපකාරී වෙනවා වගේම ශ්‍රී ලාංකිකයින්ගේ මතකයේ රැඳේවි කියලා මම විශ්වාස කරනවා” යනුවෙන් ඔහු කියා සිටියා.

නවතම සැලැස්මට අනුව තරගාවලියේ සංශෝධිත නව කාලසටහන නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇති.

තරගාවලිය පැවැත්වීම සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, ඊට අදාළ කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් මෙන්ම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාටද විශේෂ ස්තූතිය පුද කර සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එමෙන්ම කොවිඩ් 19 මැඩලීමේ කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරු ලබා දුන් සහයෝගයට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය ස්තූතිය පළ කර සිටිනවා.

Leave a comment