Ultimate magazine theme for WordPress.

“LPL තරගාවලියත් ලොව ජනප්‍රියතම ලීග් තරගාවලියක් වේවි” : 1996 ක්‍රිකට් සභාපති

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලිය ද ඉදිරියේ දී ලොව වඩාත් ජනප්‍රියතම ලීග් ක්‍රිකට් තරගාවලියක් වනු ඇති බවට තමා විශ්වාස කරන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වූ ආනා පුංචිහේවා මහතා පවසනවා.

1996 ලෝක කුසලානය ජයගන්නා විට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආනා පුංචිහේවා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය වෙත අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස්වීම් රැසක් පසුගිය කාලයේ සිදුව ඇති බවයි.

“ඇත්තටම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අනාගතයේදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙන්ම ලොව ජනප්‍රියතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් වේවි කියලා මම විශ්වාස කරනවා” යනුවෙන් ඔහු කියා සිටියා.

“මම ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරපු කාලේ ඉඳලා මේ දක්වා ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස්වීම් රැසක් සිදුවෙලා තියෙනවා. මේ වන විට විස්සයි-20 තරග ලෝකය තුළ ඉතා විශාල ජනප්‍රියතාවයක් ලබලා තියෙනවා. පන්දුවට පහර දීම පන්දු යැවීම එදාට වඩා අද වේගවත් වෙලා තියෙනවා. තරග විනිශ්චයත් එහෙමයි. තරගය පවත්වන කාල සීමාවත් අඩුයි. මේ වගේ දේවල් තුළින් ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩිවීම ස්වභාවිකයි. නරඹන්නන් වැඩි වන තරමට ක්‍රිකට්වලට තියෙන ඇල්මත් වැඩි වේවි”

“අයි.පී.එල්. තරගාවලිය අද ලොව පුරා ජනප්‍රිය තරගාවලියක් බවට පත්ව තිබුණත් ඔවුන්ට මූල්‍ය ශක්තිය ගොඩනඟා ගැනීමට වසර දෙක තුනක් ගත වුණා. අප අනුගමනය කළ යුත්තේද එම ක්‍රියාමාර්ගයමයි”

මෙරට ප්‍රේක්ෂකයින් පමණක් නොව විදෙස් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ද එල්.පී.එල් තරගාවලිය උනන්දුවෙන් නරඹනු ඇති බවයි හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

“Covid 19 තත්ත්වය තුළ ක්‍රීඩාංගණයට ගොස් තරග නැරඹීමට නොහැකි වුණත් නිවෙස් වල සිටින බොහෝ දෙනෙක් මේ තරගාවලිය නරඹන්න වැඩි උනන්දුවක් දක්වනවා. ඒ පිරිස ශ්‍රී ලංකාවේ විතරක් නොවෙයි. ඉන්දියාවේ ප්‍රේක්ෂකයින් පවා මේ තරගාවලිය නරඹනු නියතයි. ඒ වගේම පාකිස්තානු ක්‍රීඩකයින් රැසක් තරගාවලියට පැමිණිලා තියෙන නිසා පාකිස්තානු ජනතාවත් මේ තරගාවලිය විශාල ලෙස නරඹයි. බංග්ලාදේශයෙත් ගොඩක්ම ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි පිරිසක් ඉන්නේ. ඔවුනුත් මේ තරගාවලිය රූපවාහිනිය ඔස්සේ නරඹයි”

“පසුගියදා නිමාවට පත් වුණු අයි. පී. එල්. තරගාවලිය දිහා බලන්න. ඒ තරගාවලියට අපෙන් සහභාගි වුණේ එක් ක්‍රීඩකයෙක් පමණයි. ඒත් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් මේ තරගාවලියම නැරඹුවා. ඒ වගේම තමයි අපේ තරගාවලියත් මේ රටේ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය වීම ආරම්භ වීමත් සමඟ අපේ ක්‍රීඩා ලෝලීන් තරග නැරඹීමට වැඩි උනන්දුවක් දක්වනවා. තරගාවලි විකාශනය අයිතිය හිමි සෝනි සහ ස්කයි ආයතන දෙකෙන් ලෝකය පුරා ප්‍රචාරය කෙරෙන නිසා මේකට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාමත් විශාලයි” යනුවෙන් ආනා පුංචිහේවා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කළා.

“අපි මුලින්ම මේ තරගාවලිය දිහා බැලිය යුත්තේ මූල්‍යමය වාසිය අමතක කරලා. අපේ ක්‍රීඩකයින්ව ඉහළ තලයකට ඔසවා තැබීම තමයි මේ තරගාවලියේ ප්‍රධාන අරමුණ විය යුත්තේ. ලොව නමක් දිනා සිටින ජනප්‍රිය ක්‍රීඩකයින් රැසක් මේ තරගාවලියට සහභාගිවෙනවා. අපේ තරුණ ක්‍රීඩකයින්ට මේ පිරිසගෙන් උපදෙස් සහ අත්දැකීම් රැසක් ලබාගන්න පුලුවන්. කළින් කිව්වා වගේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව IPL තරගාවලිය තුළින් ලබා ඇති සීඝ්‍ර ප්‍රගතිය හා සමානම ප්‍රගතියක් LPL තරගාවලිය හරහා අපිට ලබාගත හැකියි. අද ඉන්දියාවේ දක්ෂ තරුණ ක්‍රීඩකයින් පිරිසක් IPL හරහා බිහිව සිටිනවා. ඒ වගේම අපේ තරුණ ක්‍රීඩකයින්ටත් ජාත්‍යන්තර තලයට යෑමට අවශ්‍ය කුසලතා පෙන්වීමට මේ තරගාවලිය ඉතා හොඳ අවස්ථාවක්”

(මූලාශ්‍රය – ශ්‍රී ලංකා ක්‍රිකට්)

Leave a comment