Ultimate magazine theme for WordPress.

IPL : “ශ්‍රී ලංකාව හොදට තිබුණත් දැන් එහෙම නැහැ” ඉන්දීය ක්‍රිකට් අලුත්ම මතය මෙන්න

ඉන්දියාව තුළ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්විමට නොහැකි තත්ත්වයක් උද්ගත වුවහොත් එය වෙනත් රටක පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ඉදිරියේ දී සිදු වන බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

එහි භාණ්ඩාගාරික අරුන් ධුමාල් Times Now වෙත සදහන් කළේ ඉන්දීය ක්‍රීඩකයින්ට ඉන්දියාව තුළ තරගාවලිය ක්‍රීඩා කිරීම ආරක්ෂිතනම් අයි.පී.එල් තරගාවලිය ඉන්දියාවේ දී ම පැවැත්වීම සදහා කටයුතු සූදානම් කිරීම ක්‍රිකට් ආයතනයේ පළමු තේරීම බවයි.

කෙසේ වෙතත්, කොරෝනා වසංගත තත්ත්වයත් සමග එය සිදු කළ නොහැකි නම්, තරගාලිය පැවැත්විම සදහා සුදුසු කාලවකවානුවක් උදා වුවහොත් එය විදෙස් රටක පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ද හෙතෙම එහිදී කියා සිටියා.

මීට පෙර ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙවර අයි.පී.එල් තරගාවලිය තම රටේ පැවැත්විය හැකි බවට ඉන්දීය ක්‍රිකට් ආයතනයට යෝජනා ඉදිරිපත් කළා.

කෙසේ වෙතත්, ඉන්දීය ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරිකවරයා පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතයත් සමග ඇතිව තිබෙන විවිධ ගැටලු මෙන්ම ජාත්‍යන්තර සංචාරක සීමා සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළ යුතු බවයි.

“කිසිම රටක් කොරෝනා වසංගතයත් එක්ක ආරක්ෂිත නැහැ. ඉතිං අපි තීරණය කළොත් තරගාවලිය වෙනත් රටක පවත්වන්න, ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට, ඩුබායිවලට හෝ දකුණු අප්‍රිකාවට රැගෙන යන එකත් පහසු දෙයක් නෙවෙයි. තත්ත්වය ඉතා සමානයි හැමතැනම. ජාත්‍යන්තර සංචාරක සීමාවන් තවත් ප්‍රශ්නයක්.”

යනුවෙන් භාණ්ඩාගාරික අරුන් ධුමාල් සදහන් කළා.

“ශ්‍රී ලංකාව හොද තත්ත්වයක තිබුණා. නමුත් පසුගිය දින කිහිපයේ ආසාදිතයින් වැඩි වෙන්න පටන් ගත්තා. ඉතිං ගැටලු තියෙනවා. අපි ඔවුන් සමග ගණුදෙනු කළ යුතුයි.”

මීට පෙර ද ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2009 වසරේ දී දකුණු අප්‍රිකාවේ දී ද, 2014 වසරේ දී තරගාවලියෙන් අඩක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ද පැවැත්වුණා.

ඒ, ඉන්දියාවේ එවකට පැවැති මැතිවරණ පදනම් කර ගනිමින්.

මෙවර අයි.පී.එල් තරගාවලිය පැවැත්වීමට නොහැකි වුවහොත් ඒ තුළින් ඉන්දීය ක්‍රිකට් ආයතනයට සිදුවන අලාභය ඉන්දීය රුපියල් කෝටි 4000ක් පමණ වනවා.

Leave a comment