Ultimate magazine theme for WordPress.

IPL ඉතිරි තරගවලට මොකද වෙන්නේ? විදෙස් ක්‍රීඩකයින්ට වෙන්නේ මොකක්ද?

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට තරගාවලි සංවිධායකයින් සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ බළධාරීන් අද(4) දහවල් තීරණය කිරීමත් සමග මේ වන විට බොහෝ දෙනෙකුට පැන නැගී ඇති ගැටලුව වී ඇත්තේ තරගාවලියේ ඉතිරි තරග යළි ආරම්භ වන්නේ කවදාද යන්න පිළිබදවයි.

එයට දිය හැකි සරලම පිළිතුර නම් තරගාවලිය නුදුරු අනාගතයේ දී යළි ආරම්භ නොවනු ඇති බවයි.

අත්හිටුවන අවස්ථාව වන විට මෙවර තරග වාරය යටතේ පවත්වා ඇත්තේ තරග 29ක් පමණක් වන අතර, තවත් තරග 31ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එසේනම් අයි.පී.එල් තරගාවලියට සිදු වන්නේ කුමක්ද? මේ ඒ පිළිබද සහ මේ වන විට පවතින තත්ත්වය පිළිබද විමසා බැලීමක්.

අත්හිටුවීමට තීරණය කළේ ඇයි ?

තරගාවලි සංවිධායකයින් සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උසස් නිළධාරීන් අතර අද(4) දහවල් පැවැති සාකච්ඡාවකදීයි තරගාවලිය අත්හිටුවීමේ තීරණය ඒකමතිකව ගනු ලැබුවේ.

ඒ, කොරෝනා වෛරසය කණ්ඩායම් 4ක් ආක්‍රමණය කිරීම හේතුවෙන්.

මොනවද ඒ කණ්ඩායම්? කාටද ආසාදනය වුණේ? 

  • කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වරුන් චක්‍රවර්තීට සහ සන්දීප් වොරියර්ට
  • චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු එල්. බලාජිට සහ සේවා කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට
  • සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ව්රිධිමන් සහාට
  • දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ අමිත් මිශ්රාට

තරගාවලියට සම්බන්ධ සෙසු ක්‍රීඩකයින්ට මොකද වෙන්නේ?

පවතින තත්ත්වය මත සියලුම ක්‍රීඩකයින් යළි ඔවුන්ගේ නිවාස වෙත පිටත් කර හැරීමට කටයුතු කරනු ඇති.

විදෙස් ක්‍රීඩකයින් ද තම රටවල් බලා ඉදිරියේ දී පිටත්ව යාමට නියමිතයි.

තරගාවලියට සම්බන්ධ සියලු පිරිස ආරක්ෂාකාරීව පිටත් කර හැරීම සදහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි අයි.පී.එල් බළධාරීන් ප්‍රකාශ කළේ.

පවතින අර්බුදය මැද විදෙස් ක්‍රීඩකයින් පිටව යන්නේ කොහොමද?

“අපිට අවශ්‍යයි ඔවුන්ව ගෙවල්වලට යවන්න. එය ඉටු කිරීම සදහා අපි ක්‍රමයක් හොයාගන්නවා” අයි.පී.එල් සභාපති බ්‍රිජේෂ් පටෙල් එලෙස සදහන් කළා.

මෙහිදී ඇතිව තිබෙන ප්‍රධානම ගැටලුව වී ඇත්තේ ඉන්දියාවේ පවතින කොවිඩ් 19 අර්බුදය හමුවේ එරටට රටවල් රැසකින් සංචරණ සීමා පනවා තිබීමයි.

ඒ අතරට ඇතුළත් ප්‍රධාන රටවල් මොනවාද?

ඉන්දියාවේ සිට කිසිදු වාණිජ ගුවන් යානාවට සිය රටට ඇතුළු වීමට ඔස්ට්‍රේලියාව මේ වන විටත් අවසර ලබා දෙන්නේ නැහැ.

ඉන්දියාවේ සිට පැමිණෙන බ්‍රිතාන්‍ය ජාතිකයින්ට සහ බ්‍රිතාන්‍යයේ පදිංචිකරුවන්ට බ්‍රිතාන්‍යයට පැමිණීමේ දී දින 10ක නිරෝධායන කාලයක් ගත කිරීම අනිවාර්ය වනවා.

ඉන්දියාවේ සිට නවසීලන්තයට පැමිණීමේ හැකියාව නවසීලන්ත පුරවැසියන්ට පවතින නමුත්, ඔවුන්ට දින 14ක නිරෝධායන කාලයක් ගත කිරීමට සිදු වනු ඇති.

ඉන්දියාවේ සිට බංග්ලාදේශයට ගුවන් ගමන් මේ වන විට අත්හිටුවා ඇති නමුත්, භු දේශසීමා දින 14ක නිරෝධායන කාලයකට යටත්ව විවෘත කර තිබෙනවා.

වැදගත් ගුවන් ගමන් කේන්ද්‍රස්ථානයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍ය සදහා ද ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් යානා සදහා ඇතුළු වීමට අවසර ලබා දී නැහැ.

අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග පැවැත්විය හැකි වන්නේ කවදාද?

පවතින තත්ත්වය මත අයි.පී.එල් තරගාවලිය ඉන්දීය කණ්ඩායමේ එළඹෙන එංගලන්ත ටෙස්ට් තරග සංචාරයට පෙර පවත්වා අවසන් කිරීමට නොහැකි වනු ඇති.

ලබන මස(ජූනි) 18 වනදා සිට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ද එංගලන්තයේ දී ආරම්භ වන්නේ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතරයි.

අනතුරුව ජූලි මාසයේ දී ඉන්දීය ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරග මෙතෙක් සංවිධාන කර නොමැති අතර, අගෝස්තු මාසයේ දී ඔවුන් එංගලන්ත ටෙස්ට් තරග සංචාරයේ නිරත වනවා.

ඒ අනුව අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග එංගලන්ත ටෙස්ට් තරග සංචාරය සහ 20යි 20 ලෝක කුසලානය අතර කාලයේ දී, එනම්  සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමේ හැකියාවක් පවතින බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය පෙන්වා දෙන්නේ.

20යි 20 ලෝක කුසලානය ඔක්තෝබර් 18 වනදා සිට නොවැම්බර් 15 වනදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට මේ වන විට නියමිතව ඇතත්, ඉන්දියාවේ පවතින තත්ත්වය මත එම තරගාවලියේ සත්කාරකත්වය ද වෙනස් විය හැකියි.

Leave a comment