Ultimate magazine theme for WordPress.

ICC තීරණාත්මක රැස්වීමක් අදින් ඇරඹේ – ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය ගැනත් තීන්දුවක්

ජගත් ක්‍රිකට් කවුන්සලයේ අවසන් කාර්තුමය රැස්වීම අද(16) ආරම්භ වනවා.

එහිදී කොරෝනා වංසගතයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට කණ්ඩායම් තෝරන ක්‍රමවේදය සම්බන්ධයෙන් මෙහිදී අවසන් එකගතාවයකට එළඹීමට නියමිත බව සදහන්.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇති පරිදි මේ වන විට ජගත් ක්‍රිකට් කවුන්සලයේ අවධානය යොමුව ඇත්තේ ඒ ඒ කණ්ඩායම් ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රීඩා කර ඇති තරග සංඛ්‍යාව තුළ දී ලබා ගෙන ඇති ලකුණු ප්‍රතිශතය මත පදනම්ව අවසන් තරගයට කණ්ඩායම් තෝරා ගැනීමටයි.

කොරෝනා වංසගතය හේතුවෙන් තරග රැසක් කල් දැමීමට සිදුවීම ඊට හේතුවයි.

එහිදී ඔස්ට්‍රේලියා – බංග්ලාදේශ, ශ්‍රී ලංකා – එංගලන්ත, නවසීලන්ත – බංග්ලාදේශ, පාකිස්තාන – බංග්ලාදේශ (තරගාවලියෙන් එක් තරගයක් පමණක්), ශ්‍රී ලංකා – බංග්ලාදේශ, බටහිර ඉන්දීය කොදෙව් – දකුණු අප්‍රිකා යන ටෙස්ට් තරගාවලි ක්‍රීඩා කිරීමට හැකි වී නැහැ.

ඒ අනුව ඒ ඒ කණ්ඩායම් ලබා ගන්නා ලකුණු ප්‍රතිශතය අනුව ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක 2019/21 තරගවාරයට අයත් අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන පරිදි නීති සංශෝදනයක් ගෙන ඒමටයි අයි.සී.සී ක්‍රිකට් කමිටුව පියවර ගෙන ඇත්තේ.

මේ සදහා මෙම සතියේ දී රැස්වන අයි.සී.සී ප්‍රධාන විධායක නිළධාරී රැස්වීමේ දී අවසන් අනුමැතිය හිමි විය යුතුයි.

අදාළ යෝජනාවට අමතරව ටෙස්ට් ශූරතාවලිය සදහා අවසන් පූර්ව තරග දෙකක් සංවිධාන කිරීම, ක්‍රීඩා කිරීමට නොහැකි වූ තරග ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග ලෙස සැලකීම යන යෝජනා ද ඉදිරිපත් වී තිබූ නමුත්, ඒවා අවසානයේ දී ප්‍රතික්ෂේප වී ඇති බවයි වාර්තා වන්නේ.

තරගාවලියේ අවසන් මහා තරගය ලබන වසරේ ජූනි මාසයේ දී ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මේ වන විට ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන නමුත්, ලකුණු ප්‍රතිශතය අතින් එහි ඉදිරියෙන් පසුවන්නේ ඔස්ට්‍රේලියාවයි.

Leave a comment