Ultimate magazine theme for WordPress.

9 දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කොදෙව් – පාකිස්තාන එක්දින තරගාවලිය අත්හිටුවයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට දෙරටේ ක්‍රිකට් ආයතන තීරණය කර තිබෙනවා.

කොදෙව් කණ්ඩායමට සම්බන්ධ සාමාජිකයින් 9 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැනීමත් සමග ඇතිව තිබෙන තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි දෙරටේ ක්‍රිකට් ආයතන ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

ඒ අනුව එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් අදාළ එක්දින තරගාවලිය ලබන වසරේ ජූනි මාසයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

කොදෙව් කණ්ඩායම පාකිස්තානයට පැමිණීමෙන් අනතුරුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී (PCR) ශෙල්ඩන් කොට්‍රෙල්, රොස්ටන් චේස්, ක්යිල් මේයර්ස් යන ක්‍රීඩකයින්ට හා කණ්ඩායම් කළමණාකාරීත්වයට සම්බන්ධ සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව පළමුව හදුනා ගැණුනා.

එවැනි පසුබිමක් යටතේ වුවද, දෙරට අතර 20යි 20 තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට තීරණය කළ නමුත්, ඊයේ(15) දිනයේ දී සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී (PCR) ෂායි හෝප්, අකීල් හුසෙයින්, ජස්ටින් ග්‍රීව්ස් යන ක්‍රීඩකයින්ට සහ සහාය පුහුණුකරු Roddy Estwick ට මෙන්ම භෞත චිකිත්සක Akshai Mansingh ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවටයි හදුනා ගැණුනේ.

කෙසේ වෙතත්, කොදෙව් කණ්ඩායමට සම්බන්ධ සෙසු සාමාජිකයින්ට වෛරසය ආසාදනය වී නොමැති බව අද දිනයේ දී සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලින් (Rapid Antigen tests) අනාවරණය වීම හේතුවෙන් දෙරට අතර තෙවැනි 20යි 20 තරගය අද පස්වරුවේ නියමිත පරිදි ආරම්භ වුණා.

නමුත්, කණ්ඩායම් දෙකේම සෞඛ්‍ය ආරක්ෂාව මෙන්ම ක්‍රීඩකයින් රැසක් අහිමි වීම නිසා කොදෙව් කණ්ඩායම එක්දින තරගාවලියේ දී මුහුණ දෙන අපහසුතාවය (කණ්ඩායම තේරීමේ දී) සැලකිල්ලට ගෙන එක්දින තරගාවලිය කල් දැමීමට තීරණය කර තිබෙනවා.

වෛරසය ආසාදනය නොවූ කොදෙව් කණ්ඩායමට සම්බන්ධ සාමාජිකයින් අද රාත්‍රියේ පැවැත්වෙන 20යි 20 තරගයෙන් පසුව පාකිස්තානයෙන් පිටත්ව යාමට නියමිතයි.

වෛරසය ආසාදනය වූවන් මේ වන විට හුදෙකලා කර ඇති අතර, ඔවුන් එලෙස සිටිය යුතු නියමිත කාලසීමාවන් අවසන් වීමෙන් පසුව පාකිස්තානයෙන් පිටව යනු ඇති.

Leave a comment