Ultimate magazine theme for WordPress.

6,6,6,6,6,6 – තිසරගෙන් පිට පිට හයේ පහර 6ක්

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා අද(28) එක් පන්දුවාරයකදී හයේ පහර 6ක් එල්ල කිරීමට සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කර ඇති ප්‍රධානතම අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයට එරෙහි තරගයේ දී යි.

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන තිසර පෙරේරා මෙම තරගයේ දී පන්දු 13කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර, ඔහු පන්දු 13කින් ලකුණු 52ක් ලබා ගත්තේ හයේ පහර 8ක් සමගින්.

පන්දුවාර 41කට සීමා වූ තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් යුද හමුදා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 318ක් ලබා ගත්තා.

තිසර පෙරේරා හයේ පහර 6ක් එක් පන්දුවාරයකදී එල්ල කිරීමට සමත් වුණේ ඉනිමේ අවසන් පන්දුවාරය වූ 41 වන පන්දුවාරයේ දී යි.

එම පන්දුවාරය යවනු ලැබුවේ දිල්හාන් කුරේ විසින්.

ඔහු පන්දුවාර 4ක් යැවූ අතර, එහිදී ලකුණු 73ක් වාර්තා කිරීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත් වුණා.

මෙම තරගයේ දී යුද හමුදා ඉනිම වෙනුවෙන් අශාන් රන්දික සහ හිමාෂ ලියනගේ ශතක වාර්තා කිරීමට සමත්වීම ද කැපී පෙණුනා.

අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මෙම තරගය ජය පරාජයකින් තොරවයි නිමා වුණේ.

Leave a comment