Ultimate magazine theme for WordPress.

කාසියේ වාසිය දිනා කෝලි පළමුවරට ටෙස්ට් තරගයක් පරදියි

Match Report

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(19) සමත් වුණා.

ඇඩිලේඩ් හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති තරගයේ තෙවැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව එක් කඩුල්ලක් දැවි ලකුණු 9ක් ලබා සිටියා.

කෙසේ වෙතත්, ඔවුන්ගේ දෙවැනි ඉනිම ලකුණු 36කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

ඉන්දීය ඉනිමේ කඩුලු 9ක් පමණක් දැවී ගිය අතර, මොහොමඩ් ෂාමි පන්දුවක් අතක වැදීම හේතුවෙන් සිදු වූ ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වීමට තීරණය කළා.

ඉන්දීය කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

වැඩිම ලකුණු ලාභියා වූ මයාන්ක් අගාර්වල් ලකුණු 9ක් රැස් කළා.

මීට පෙර ඉන්දීය කණ්ඩායම ටෙස්ට් ඉනිමක වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාව වූයේ එංගලන්තයට එරෙහිව 1974 වසරේ ලබා ගෙන තිබූ ලකුණු 42යි.

ඉන්දියාවට එරෙහි දෙවැනි ඉනිමේ පන්දු යැවීමේ දී ජොෂ් හෙසල්වුඩ් ලකුණු 8කට කඩුලු 5ක් දවා ගත් අතර, පැට් කමින්ස් ලකුණු 21කට කඩුුලු 4ක් බිද හෙලුවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට තරගය ජය ගැනීම සදහා ලකුණු 90ක ඉලක්කයක් හිමි වූ අතර, එය කඩුලු 2ක් දැවී සිටියදී සපුරා ගැනීමට ඔස්ට්‍රේලියානු පිතිකරුවන් සමත් වුණා.

ජෝ බර්න්ස් නොදැවී ලකුණු 51ක් සහ මැතිව් වේඩ් ලකුණු 33ක් රැස් කළා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක විරාට් කෝලි පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

විරාට් කෝලි කාසියේ වාසිය දිනූ කිසිදු ටෙස්ට් තරගයක් ඉන්දියාව මෙතෙක් පරාජයට පත්ව නොතිබූ අතර, ඒ අනුව මෙම තරග පරාජය ඉතිහාසගත වූයේ ඔහු කාසියේ වාසිය දිනා පරාජයට පත් වූ පළමු ටෙස්ට් තරගය ලෙසයි.

ඔහු මෙම තරගයට පෙර තරග 25කදී කාසියේ වාසිය දිනා ඉන් තරග 21ක් ජය ගෙන තිබූ අතර, තරග 4ක් ජය පරාජයෙන් තොරව නිමා වුණා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 244ක්.

පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට රැස් කර ගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 191ක් පමණයි.

දෙරට අතර පැවැත්වෙන තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය ලබන 26 වනදා මෙල්බර්න් හී දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment