Ultimate magazine theme for WordPress.

2023 ලෝක කුසලානය ඇරඹීමට සියල්ල සූදානම් ; තරගාවලියේ සියලු තොරතුරු මෙන්න

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ හෝරා කිහිපයක් පමණයි. තරගාවලිය බ්‍රහස්පතින්දා (5) සිට නොවැම්බර් 19 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

සති හතක පමණ දීර්ඝ කාලයක් පැවැත්වෙන තරගාවලිය සම්බන්ධයෙන් ඔබ දැන ගත යුතු සියලු තොරතුරු මෙම ලිපිය ඔස්සේ ගෙන ඒමට අප සූදානම්.

  • කණ්ඩායම් සුදුසුකම් ලැබූ අයුරු

තරගාවලිය සදහා රටවල් 10 ක් ක්‍රීඩා කරනවා. ඉන්දියාව සත්කාරක රට ‍වශයෙන් තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබූ අතර, ලෝක කුසලාන සුපර් ලීගයේ පළමු ස්ථාන 8 අතරට ඇතුළත් වූ සෙසු රටවල් ද ලෝක කුසලානය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවේ සිම්බාබ්වේ හී දී පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු ස්ථාන දෙක හිමි කර ගනිමින්.

  • ක්‍රීඩාංගන හා ආකෘතිය

ඉන්දියාවේ ක්‍රීඩාංගන 10 කදී දින 46 ක් පුරා පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සදහා තරග 48 ක් ඇතුළත්.

තරගාවලියට යොදා ගැනෙන ක්‍රීඩාංගන –

  1. Narendra Modi Stadium, Ahmedabad
  2. Chinnaswamy Stadium, Bengaluru
  3. M.A. Chidambaram Stadium, Chennai
  4. Arun Jaitley Stadium, Delhi
  5. Himachal Pradesh Cricket Association (HPCA) Stadium, Dharamsala
  6. Eden Gardens, Kolkata
  7. BRSABVE Cricket Stadium, Lucknow
  8. Wankhede Stadium, Mumbai
  9. MCA International Stadium, Pune
  10. Rajiv Gandhi International Stadium, Hyderabad

මූලික වටයේ දී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් 9 සමගින් එක් තරගය බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 4 හිමි කර ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා.

  • වැදගත් තරග

තරගාවලියේ සමාරම්භක තරගය පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ලෝක ශූර එංගලන්තය හා අනුශූර නවසීලන්තය අතර අහ්මදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම තරගය බ්‍රහස්පතින්දා පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.

සත්කාරක ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව චෙන්නායි හී දී ඔක්තෝබර් 8 වැනිදා පැවැත්වීමට නියමිත අතර, බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් තරගය වන ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ඔක්තෝබර් 14 වැනිදා ප්‍රේක්ෂකයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවකට තරග නැරඹිය හැකි අහ්මදාබාද් ක්‍රීඩාංගනයේදීම පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සිය පළමු තරගයට ක්‍රීඩා කරන්නේ එළඹෙන 7 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිවයි. දිල්ලි හී දී එම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අවසන් පූර්ව වටයේ තරග දෙක නොවැම්බර් 15 වැනිදා හා 16 වැනිදා පිළිවෙලින් මුම්බායි හී දී හා කොල්කටා හී දී පැවැත්වීමට නියමිත බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ. අවසන් පූර්ව තරග දෙක සදහාම අතිරේක දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අහ්මදාබාද් හී දී නොවැම්බර් 19 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය සදහා ද අතිරේක දිනයක් ලෙස නොවැම්බර් 20 වැනිදා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

(සම්පූර්ණ තරග කාලසටහන පහතින්)

  • ත්‍යාග මුදල

ලෝක කුසලානය ජය ගන්නා කණ්ඩායමට හිමි වන ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 4ක්. එනම් රුපියල් කෝටි 129 ක පමණ අගයක්.

අනුශූරයින්ට ඩොලර් මිලියන දෙකක ත්‍යාග මුදලක් හිමි වීමට නියමිතයි. අවසන් පූර්ව තරග දෙකෙන් පරාජයට පත් වන කණ්ඩායම් දෙකට ඩොලර් 800,000 බැගින් ත්‍යාග මුදල් හිමි වන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබන රටවල් 6 සදහා ද ඩොලර් 100,000 ක මුදලක් බැගින් හිමි වනු ඇති.

එමෙන්ම මූලික වටයේ දී කණ්ඩායමක් ජය ගන්නා සෑම තරගයකටම ඩොලර් 40,000 බැගින් ලබා දෙන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී පිරිනමනු ලබන සමස්ත ත්‍යාග මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 10 ක්.

  • ඉතිහාසය

1975 වසරේ සිට ආරම්භ වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි යටතේ මෙතෙක් පවත්වා ඇති ලෝක කුසලාන තරගාවලි 12 අතුරින් තරගාවලි 5ක ශූරතාවය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව (1987, 1999, 2003, 2007, 2015) සමත්ව තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව්වන් (1975, 1979) හා ඉන්දියාව (1983, 2011) අවස්ථා දෙක බැගින් ලෝක ශූරතාවය දිනා ගත්තා.

පාකිස්තානය හා ශ්‍රී ලංකාව පිළිවෙළින් 1992 වසරේ දී හා 1996 වසරේ දී ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා. අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලිය (2019) ජය ගත්තේ එංගලන්තයයි.

අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලි තුනම සත්කාරක රට විසින් ජය ගෙන තිබීම ද විශේෂත්වයක්.

2023 ලෝක කුසලානයේ තරග කාලසටහන –

ICC
Leave a comment