Ultimate magazine theme for WordPress.

20යි 20 නායකත්වය දසුන්ට – ක්‍රිකට් ආයතනය තහවුරු කරයි

ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(22) තහවුරු කළා.

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා මෙම පත් කිරීම සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියේ.

ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස ලසිත් මාලිංග කටයුතු කරන නමුත්, එළඹෙන කොදෙව් තරග සංචාරයට ඔහු එක් වන්නේ නැහැ.

කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායම තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කෙරුණු බව අප මීට පෙර ඔබට තොරුතුරු වාර්තා කළා.

එක්දින කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න සුපුරුදු පරිදි කටයුතු කරන බවට ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්ව තිබුණ ද 20යි 20 කණ්ඩායමේ නායකයා කවුරුන් ද යන්න එහි සදහන්ව තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක පත් කර ඇති බවට මේ වන විට නිවේදනය කර තිබෙනවා.

මීට පෙර දසුන් ශානකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන තරග සංචාරයක ද නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකාව තරග 3-0ක් ලෙස ජය වාර්තා කළා.

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළේ දසුන් ශානක.

එහිදී ද සැලකිය යුතු දක්ෂතාවයක් දසුන් ශානක සහ ඔහුගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම පෙන්නුම් කරනු දක්නට ලැබුණා.

Leave a comment