Ultimate magazine theme for WordPress.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් කාලසටහන එළි දකියි

2022 වසරේ එංගලන්තයේ බර්මිංහැම්හී දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් තරග ඉසව්වට අදාළ තරග පැවැත්වෙන දින සංවිධායකයින් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සදහා කාන්තා 20යි 20 තරග ඉසව්වක් පමණක් ඇතුළත් අතර, ඒ අනුව එය ජූලි 29 වනදා සිට අගෝස්තු 7 වනදා දක්වා Edgbaston ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

රටවල් 8ක් සහභාගී වන තරගාවලියේ මූලික වටයේ තරග අගෝස්තු 4 වනදා දක්වා පැවැත්වෙනවා.

අවසන් පූර්ව තරග අගෝස්තු 6 වනදා ද, අවසන් තරගය සහ ලෝකඩ පදක්කම සදහා වන තරගය අගෝස්තු 7 වනදා ද පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළක් සදහා ක්‍රිකට් ක්‍රීඩාව මෙලෙස ඇතුළත් වන්නේ ඉතිහාසයේ දෙවැනි වරට වීම විශේෂත්වයක්.

පළමු වරට 1998 වසරේ දී පිරිමි කණ්ඩායම් පමණක් සහභාගී කර ගනිමින් එක්දින තරග ඉසව්වක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සදහා ඇතුළත් කර තිබූ අතර, එහි ජය වාර්තා කළේ දකුණු අප්‍රිකාවයි.

සත්කාරක එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව මේ වන විට ක්‍රීඩා උළෙල සදහා  සුදුසුකම් ලබා ඇති අතර, කැරිබියන් දූපත්වලින් එක් රටක් ද ක්‍රීඩා උලෙළ සදහා එක්වීමට නියමිතයි.

පසුගිය අප්‍රේල් 1 වැනිදා වන විට අයි.සී.සී කාන්තා පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම්වලට අනුව සත්කාරක එංගලන්තය හැර (සත්කාරක රට බැවින්) ඉදිරියෙන්ම සිටින සෙසු කණ්ඩායම් හයයි මෙලෙස ක්‍රීඩා උලෙළ සදහා සෘජුවම සුදුසුකම් ලබා ඇත්තේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්හි 8 වන ස්ථානයේ පසු වූ බැවින් ඔවුන් ඒ සදහා සෘජුව සුදුසුකම් ලබා ගෙන නැහැ.

ක්‍රීඩා උලෙළට එක්වන අවසන් කණ්ඩායම තෝරා ගැනීම සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් සංවිධාන කෙරෙන අතර, ඉන් ජය ගන්නා කණ්ඩායමට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්ව සදහා එක්වීමේ අවස්ථාව හිමි වනවා.

ඒ අනුව එම සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජය ගතහොත් පමණක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලබන වසරේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති.

මේ අතර, ක්‍රීඩා උලෙළ සදහා බටහිර ඉන්දීය කොදෙව්වන් (කැරිබියන්) සුදුසුකම් ලබා ගෙන ඇති බැවින් තවත් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ද පැවැත්වීමට සිදුව තිබෙනවා.

ඒ, කැරිබියානු දූපත් අතරින් කුමන රටක් අදාළ තරගාවලියට ක්‍රීඩා කරන්නේ ද යන්න තෝරා ගැනීම සදහායි.

ක්‍රිකට් තරග සදහා කැරිබියානු දූපත් රාජ්‍යයන් ඒකාබද්ධ වී බටහිර ඉන්දීය කොදෙව්වන් ලෙස තරග කළ ද, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සදහා කැරිබියානු දූපත්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින්නේ වෙන වෙනම රටවල් වශයෙන්.

එබැවින් එම කැරිබියානු දූපත් රාජ්‍යයන් අතර පවත්වන සුදුසුකම් ලැබීමේ තරගාවලියකින් ජය ගන්නා රටට බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ නියෝජනය කිරීමේ අවස්ථාව උදා වනු ඇති.

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ ලබන වසරේ ජූලි 28 වනදා සිට අගෝස්තු 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a comment