Ultimate magazine theme for WordPress.

සුපර් ලීගයේ ඉදිරියට යෑමේ අපේක්ෂාවෙන් සිම්බාබ්වේ පිලට එරෙහිව ශ්‍රී ලංකාව තරග බිමට

Match Preview

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට(16) ආරම්භ වනවා.

පළමු තරගය පස්වරු 2.30ට දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වන්නේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී යි.

මෙම තරගාවලිය අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ මේ වන විට රැදී සිටින්නේ ක්‍රීඩා කළ තරග 15න් තරග 4ක් පමණක් ජය ගනිමින්. ශ්‍රී ලංකාවට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 42ක්.

තරග 9කින් තරග 2ක් ජය ගත් සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 13 වැනි ස්ථානය හෙවත් අවසන් ස්ථානයේ පසුවනවා.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් සෘජුව සුදුසුකම් ලබා ගනු ලබන්නේ මෙම ලීග් ක්‍රමවේදය තුළින්.

2023 ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමිව ඇති බැවින් ඉන්දියාව මේ වන විටත් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ඇති බැවින්, ඔවුන් හැර සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන සෙසු රටවල් හත 2023 ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලබා ගනු ඇති.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ සියලු තරග ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වනවා.

  • ශ්‍රී ලංකා කණ්ඩායම

මෙම එක්දින ක්‍රිකට් තරගාවලියේ දී කුසල් මෙන්ඩිස් හා පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරනු ඇති.

කුසල් මෙන්ඩිස් මෙම තරගාවලිය සදහා නම් කෙරුණේ ඔහුට එරෙහිව පනවා තිබූ වසරක ජාත්‍යන්තර තරග තහනම නියමිත කාලය නිමා වීමට පෙර අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා කටයුතු කිරීමත් සමගයි.

සිම්බාබ්වේ තරගාවලියේ දී දිනේෂ් චන්දිමාල් කඩුලු රැකීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, ඔහු අංක 4 ස්ථානයේ පන්දුවට පහර දීමට නියමිත බව සදහන්.

කමිදු මෙන්ඩිස් අංක 3 පිතිකරුවා ලෙසත්, චරිත් අසලංක අංක 5 පිතිකරුවා ලෙසත් ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දසුන් ශානක අංක 6 ස්ථානයේ පන්දුවට පහර දෙන අතර, චාමික කරුණාරත්නට අංක 7 හෙවත් තුන් ඉරියව් ක්‍රීඩකයාගේ ස්ථානය හිමි වනු ඇති.

කොවිඩ් 19 ආසාදනය වී සුවය ලබා ඇතත්, වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට පළමු එක්දින තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව දසුන් ශානක ඊයේ(14) පැවැති මාධ්‍ය හමුවක දී කියා සිටියා.

වනිදු හසරංග ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන බැවින් ජෙෆ්රි වැන්ඩර්සේ හා මහීෂ් තීක්ෂණ දග පන්දු යවන්නන් ලෙසත්, නුවන් ප්‍රදීප් සමගින් චාමික ගුණසේකර හෝ නුවන් තුෂාර වේග පන්දු යවන්නන් ලෙසත් පළමු එක්දින තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

තරගාවලිය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද(15) සිය අවසන් පුහුණු කටයුතු සදහා ද එක්ව සිටියා.

  • විකාශන කටයුතු

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ චැනල් අයි නාලිකාවටයි.

Ten Cricket රූපවාහිනී නාලිකාව ඔස්සේ ද තරගාවලිය සජීවීව විකාශය කෙරෙනවා.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ සජීවී විස්තර විචාරයට සවන් දීමේ අවස්ථාව ක්‍රීඩාලෝලීන්ට හිමි වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද තරගාවලිය සජීවීව නැරඹිය හැකියි.

  • ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගනයට ඇතුළු වීමටත් අවස්ථාව

මෙම එක්දින ක්‍රිකට් තරගාවලිය ද ක්‍රීඩාංගනය වෙත ගොස් නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමිව තිබෙනවා.

ඒ අනුව srilankacricket.lk හා bookmyshow.com යන වෙබ් අඩවි වෙත පිවිසීමෙන් ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

ඊට අමතර මහනුවර බලගොල්ල අභීත ක්‍රීඩාංගනයේ හා මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඇති ප්‍රවේශ පත්‍ර කවුලු තුළින් ද ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

තරග පැවැත්වෙන දිනවලදී පමණක් පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා වන කාලයේ දී මහනුවර බලගොල්ල අභීත ක්‍රීඩාංගනයෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකි අතර, පල්ලේකැලේ ක්‍රීඩාංගනයෙන් පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා වන කාලයේ දී ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි වන්නේ තරග නොපැවැත්වෙන දිනවලදී යි.

srilankacricket.lk හා bookmyshow.com යන වෙබ් අඩවි තුළින් මිලදී ගත් ප්‍රවේශ පත්‍ර ද අදාළ ප්‍රවේශ පත්‍ර කවුලු තුළින් ලබා ගත හැකියි.

තරග නැරඹීම සදහා අවස්ථාව ලබා දෙන්නේ පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 50% ක පිරිසකට පමණයි.

එමෙන්ම කොරෝනා වෛරසයට එරෙහි පළමු එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින්ට පමණක් තරග නැරඹීමට අවස්ථාව ලබා දෙන අතර, දෙවැනි මාත්‍රාව ක්‍රීඩාංගනයට ඇතුළුවන දිනයට දින 14කට පෙර ලබා ගෙන තිබීම ද අනිවාර්යය වනවා.

ක්‍රීඩාංගනයට පිවිසීමට පෙර ප්‍රේක්ෂකයින් විසින් එය තහවුරු කිරීම සදහා එන්නත් කාඩ්පත් (either the card or in digital form) ඉදිරිපත් කළ යුතුයි.

  • ශ්‍රී ලංකා සංචිතය –

Dasun Shanaka(c), Pathum Nissanka, Minod Bhanuka, Charith Asalanka, Chamika Karunaratne, Maheesh Theekshana, Jeffrey Vandersay, Nuwan Thushara, Ramesh Mendis, Praveen Jayawickrama, Dushmantha Chameera,
Chamika Gunasekera, Dinesh Chandimal, Kusal Mendis, Nuwan Pradeep, Shiran Fernando, Kamindu Mendis

අතිරේක ක්‍රීඩකයින් : Ashen Bandara, Pulina Tharanga, Nimesh Vimukthi, Ashian Daniel, Asitha Fernando, Vishwa Fernando, Niroshan Dikwella

  • සිම්බාබ්වේ සංචිතය –

Craig Ervine (c), Ryan Burl, Regis Chakabva, Tendai Chatara, Luke Jongwe, Takudzwanashe Kaitano, Clive Madande, Wesly Madhevere, Wellington Masakadza, Tinotenda Mutombodzi, Blessing Muzarabani, Richard Ngarava, Sikandar Raza, Milton Shumba, Sean Williams

Leave a comment