Ultimate magazine theme for WordPress.

සන්දීප් ලැමිච්හානේගේ ලෝක කුසලාන බලාපොරොත්තු බොද වන ලකුණු

නේපාලයේ හිටපු ක්‍රිකට් නායක හා දග පන්දු යවන ක්‍රීඩක සන්දීප් ලැමිච්හානේට (Sandeep Lamichhane) බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, ඔහුට ඇමෙරිකාවට පැමිණීම සදහා අවශ්‍ය වීසා බලපත්‍ර ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බැවින්.

සන්දීප් ලැමිච්හානේට එරෙහිව එල්ල වී තිබූ ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට එරට පටාන් මහාධිකරණය පසුගිය 15 වැනිදා තීන්දු කළ අතර, ඒ අනුව ඔහුට වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් ක්‍රීඩාවට ද යළි පිවිසීමට අවස්ථාව උදා වුණා.

අනතුරුව නේපාල ක්‍රිකට් ආයතනය සදහන් කළේ ඔහුව එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ද සලකා බලන බවයි.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කරන අවසන් සංචිත මැයි 25 වැනිදා වන විට සියලු රටවල් විසින් ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත ඉදිරිපත් කළ යුතු වනවා.

2022 වසරේ අගෝස්තු 21 වැනිදා හෝටලයකදී තරුණියක් දූෂණයට ලක් කළ බවට එල්ල වූ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් සන්දීප් ලැමිච්හානේට වසර අටක සිරදඩුවමක් නියම කිරීමට කත්මන්ඩු දිස්ත්‍රික් අධිකරණය තීන්දු කළේ පසුගිය ජනවාරි 10 වැනිදායි. සිර දඩුවමට අමතරව නේපාල රුපියල් ලක්ෂ තුනක දඩ මුදලක් ද ඔහුට නියම කෙරුණු අතර, වින්දිතයාට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙස ද අධිකරණය නියම කර තිබුණා.

කෙසේ වෙතත්, පසුව ඔහු සිය සිර දඩුවමටම එරෙහිව අභියාචනයක් ගොණු කළා. එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණය ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේ අදාළ චෝදනාව සනාථ කිරීම සදහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙනුයි.

Leave a comment