Ultimate magazine theme for WordPress.

සනත් ජයසූරිය ඇතුළත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත් කෙරේ

ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත පත් කෙරුණු නව සාමාජිකයින් සදහා නිළ වශයෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (4) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාතයාංශයේ දී සිදු කෙරුණා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කර ඇති මෙම කමිටුවට සාමාජිකයින් 7 දෙනෙකු ඇතුළත් අතර, එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතායි.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය –

තමන්ගේ ක්‍රීඩා සංගමය මගින් පත් කර ඇති තේරීම් කමිටුවෙන් තමාට යම් අසාධාරණයක් සිදු වෙනවානම් එම අසාධාරණය පිළිබදව දින 07 ක් ඇතුළත අමාත්‍යවරයා ලෙස මා වෙත හෝ ජාතික ක්‍රීඩා සභාවට, ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත එම අභියාචනය ඉදිරිපත් කළ හැකි බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (04) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාතයාංශයේ දී ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත නිළ වශයෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිණි.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

අද දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ක්‍රීඩා පනතට අනුව ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත නිළ වශයෙන් ඔවුන්ගේ පත්වීම් ලිපි ප්‍රදානය කළා.

ක්‍රීඩාව පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ඇති, ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩාව පිළිබදව අවධානයෙන් සිටින කණ්ඩායමකට මෙම වගකීම භාර දිය යුතු බව මගේ ස්ථාවරය වූවා.

මෙම කමිටුව විසින් ඉටු කරන්නේ ක්‍රීඩාවේ ප්‍රධානතම වගකීමක්. ක්‍රීඩාව වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කළ තරුණයාගේ අනාගතය තීන්දු වෙන්නේ තේරීම තුළ.

පසුගිය කාලයේ අපිට අත්දැකීම් තිබෙනවා ක්‍රීඩකයින් බොහෝ සෙයින් දුක් ගැනවිලි පවසනවා. සෑම අම්මා කෙනෙක්ටම, තාත්තා කෙනෙක්ටම තමන්ගේ දරුවා තමයි වීරයා. එහි තර්කයක් නැහැ. ඔහුගේ දක්ෂතාවය මැනීම හා අසාධාරණයක් සිදු වූවානම් ඒ පිළිබදව සොයා බැලීම ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ වගකීමක්.

එම වගකීම නිවැරදිව ඉෂ්ඨ කරනවා යනු මේ රටේ ක්‍රීඩාව වෙනුවෙන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් කරන ලොකුම සාධාරණයක්. අපි එය දුටුවා.

පසුගිය දිනවල දැල්පන්දු කණ්ඩායම තේරීමේ දී යම් යම් ගැටළු පැන නැගුණු අවස්ථාවන්හි දී ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව මැදිහත් වී එයට සාධාරණයක් ඉටු කළා. ඔවුන්ගේ නිවැරදි තේරීම් ද බලපෑවා අපිට ආසියානු කිරුළ ජයග්‍රහණය කිරීම සදහා.

සෑම ක්‍රීඩාවක්ම ජාතික තේරීම් කමිටුව හරහා කටයුතු කිරීමේ වගකීම මින් ඉදිරියට තිබෙනවා. කාටවත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව මග ඇරලා යන්න පුලුවන්කමක් නැහැ.

මට ඔබ සැමට ලබා දිය යුතු විශේෂම පණිවිඩය මෙයයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ පිරිසක් නොදන්න කාරණයක් මෙය. තමන්ගේ ක්‍රීඩා සංගමය මගින් පත් කර ඇති තේරීම් කමිටුවෙන් තමාට යම් අසාධාරණයක් සිදු වෙනවානම් එම අසාධාරණය පිළිබදව දින 07 ක් ඇතුළත අමාත්‍යවරයා ලෙස මා වෙත හෝ ජාතික ක්‍රීඩා සභාවට, ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත එම අභියාචනය ඉදිරිපත් කළ හැකියි.

මෙහිදී ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව හරහා සාධාරණයක් අපේක්ෂා කළ හැකියි. ක්‍රීඩාවට ආදරය කරන, ක්‍රීඩාව පිළිබදව හොද අවබෝධයක්, අධ්‍යනයක් තිබෙන ක්‍රීඩාවේ විශේෂඥ කණ්ඩායමක් තමයි මම අද ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට පත් කළේ.

පත් කරන ලද නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව –

  1. ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා (සභාපති)
  2. අර්ජුන් රිශ්යා ප්‍රනාන්දු මහතා (ලේකම්)
  3. දොස්තර මහියා ගුණසේකර මහතා (සාමාජික)
  4. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත් මහතා (සාමාජික)
  5. සනත් ජයසූරිය මහතා (සාමාජික)
  6. ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා (සාමාජික)
  7. තිලකා ජිනදාස මහත්මිය (සාමාජිකා)

ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැස්වෙල් ද සිල්වා මහතා විදේශ ගතව සිටින බැවින් මෙම අවස්ථාවට සහභාගී නොවීය.

මෙම මාධ්‍ය හමුව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ උපදේශක සුදත් චන්ද්‍රසේකර යන මහත්වරුන් සහභාගි වූහ.

Show Comments (1)