Ultimate magazine theme for WordPress.

“සති තුනකවත් පුහුණුවක් දෙයි කියලයි මම හිතුවෙ” : මාලිංග ඉවත් වීම තහවුරු කරයි

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් නොවීමට තමා තීරණය කළ බව ශ්‍රී ලංකා 20යි 20 නායක සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කර ඇත්තේ තරගාවලියට සූදානම් වීම සදහා සුදුසු කාලයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි.

“මේ වසර මුල පැවැති කොදෙව් තරගාවලියෙන් පසුව මට ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. මට කිසිම පුහුණුවක් ලබන්න අවස්ථාවක් ලැබිලා නැහැ.” යනුවෙන් මාලිංග කියා සිටියා. “පසුගිය මාසයේ දී ක්‍රීඩක කෙටුම්පත් කිරීම සිදු කළ අවස්ථාවේ දී මම හිතුවෙ තරගාවලියට පෙර අපිට සති තුනකවත් පුහුණු කාලයක් ලැබෙවි කියලා. නමුත් කිසිවක් නැහැ. අපි මේ සතියෙ හම්බන්තොටට ගිහිං එහෙදිත් දින 3ක් නිරෝධායනයට ලක් වෙන්න ඕනෙ”

“පුහුණුවක් නැතිව ඉහළම මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩා කරන එක පන්දු යවන්නෙකුට පහසු දෙයක් නෙවෙයි. එල්.පී.එල් තරගාවලියේ දී දින දෙකක් තුළ එක දිගට තරග ක්‍රීඩා කරන්නත් තියෙනවා. ඉතිං මම තීරණය කළා තරගාවලිය ක්‍රීඩා නොකර සිටින්න.”

37 හැවිරිදි ලසිත් මාලිංග මේ වන විට මාස 8ක පමණ කාලයකින් පුහුණුවීම් සිදු කර නැහැ.

සිය පියාගේ අසනීප තත්ත්වය හේතුවෙන් නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ද ඔහු එක්වූයේ නැහැ.

Leave a comment