Ultimate magazine theme for WordPress.

ශූරයින්ගේ කුසලානයේ කාලසටහන ගැන ඇහෙන අලුත්ම තොරතුරු මෙන්න

2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ලීග් තරග වටයේ අවසන් තරගය ලෙස ලාහෝර්හී දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

මේ වන විට තරගාවලියට අදාළ මූලික කාලසටහන පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත යොමු කර ඇති අතර, ඊට අනුව කණ්ඩායම් අටක් ක්‍රීඩා කරන තරගාවලිය පෙබරවාරි 19 වැනිදා සිට මාර්තු 9 වැනිදා දක්වා පාකිස්තානයේ ක්‍රීඩාංගන තුනකදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව සදහන්.

කෙසේ වෙතත්, ඉන්දීය කණ්ඩායම ශූරයින්ගේ කුසලානය සදහා පාකිස්තානයට පිටත්ව යන්නේ ද යන්න සම්බන්ධයෙන් වන අවසන් තීරණය ඉන්දීය රජය විසින් ගත යුතුයි. ඉන්දීය රජය එය ප්‍රතික්ෂේප කළහොත් මෙම තරගාවලිය ද පසුගිය වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලිය මෙන් රටවල් දෙකකදී (hybrid model) පැවැත්වීමට සිදු වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

එසේ වුවහොත් ඉන්දීය තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට බොහෝ දුරට ඉඩ පවතිනවා. නමුත්, ඒ සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය හෝ පාකිස්තාන ක්‍රිකට් ආයතනය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් සිදු කර නැහැ.

ලාහෝර්, කරච්චි හා රාවල්පින්ඩි හී දී දින 20 ක් පුරා මෙම තරගාවලිය පැවැත්වෙන අතර, තරගාවලියට තරග 15 ක් ඇතුළත්.

ලාහෝර්හී දී තරග 7 ක් ද‍, රාවල්පින්ඩි හී දී තරග 5 ක් ද, කරච්චි හී දී තරග 3ක් ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඉන්දියාව ක්‍රීඩා කරන සියලු තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ ලාහෝර්හී දී යි.

ශූරයින්ගේ කුසලාන තරගාවලියේ පළමු තරගය පෙබරවාරි 19 වැනිදා කරච්චි හී දී පැවැත්වීමට නියමිත අතර, අවසන් පූර්ව වටයේ තරග කරච්චි හී දී හා රාවල්පින්ඩිහී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. අවසන් මහා තරගය මාර්තු 9 වැනි ඉරිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ ද ලාහෝර් හීදී යි.

ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවහොත් එම තරගය ද ලාහෝර්හී දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සදහා ක්‍රීඩා කරන රටවල් 8 අතරට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වුණා.

Leave a comment