Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකා සංචාරය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය සැලසුම් කළ පරිදි සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(10) තහවුරු කළා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමග සිදු කළ සාකච්ඡාවකින් පසුව ඒ පිළිබද අවසන් තීරණයට එළඹුණු බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සැලසුම් කළ දිනයේ දී එනම් ලබන 17 වනදා දිවයිනෙන් පිටව යනු ඇති.

මේ අතර, ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ සෞඛ්‍ය විශේෂඥයෙකු වහාම දකුණු අප්‍රිකාව බලා පිටව යන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඒ, තරගාවලිය සදහා පවතින තත්ත්වය තක්සේරු කිරීමට සහ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන්.

එංගලන්ත කණ්ඩායම සිය දකුණු අප්‍රිකා තරග සංචාරය කොරෝනා වසංගතය හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අතරමැද දී අත්හිටුවීමට පසුගියදා තීරණය කිරීමත් සමගයි ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් ද අවිනිශ්චිත තත්ත්වයක් ඇති වුණේ.

කෙසේ වෙතත්, මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුව විසින් ද පවතින තත්ත්වය සම්බන්ධයෙන් තක්සේරුවක් සිදු කර ඇති බව සදහන්.

ඒ අනුව තරගාවලිය සදහා වෛද්‍ය කමිටුවේ ද අනුමැතිය හිමිව ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.

සාම්ප්‍රදායික බොක්සිං දින ටෙස්ට් තරගය දෙසැම්බර් 26 වනදා ආරම්භ වන්නේ සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට් පාර්ක් ක්‍රීඩාංගනයේ දී යි.

දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ලබන වසරේ ජනවාරි 3 වනදා ජොහැනස්බර්ග්හී දී ආරම්භ වනු ඇති.

තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් 20 වනදා සිට 22 වනදා දක්වා තෙදින පුහුණු තරගයකට ද එක්වීමට නියමිත බව මීට පෙර නිවේදනය කෙරුණා.

Leave a comment