Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 31ක් ඇතුළුව ක්‍රීඩකයින් 1097 දෙනෙකු IPL ක්‍රීඩක වෙන්දේසියට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 31 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.

ලබන 18 වනදා පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියට ලියාපදිංචි වී ඇති සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 1097ක් බවයි අයි.පී.එල් තරගාවලි සංවිධායකයින් නිවේදනය කළේ.

ඊට ඉන්දීය ක්‍රීඩකයින් 814 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් 283 දෙනෙකු ඇතුළත්.

ජාත්‍යන්තර වරම් දිනා ගත් ඉන්දීය ක්‍රීඩකයින් 21 දෙනෙකු, ජාත්‍යන්තර වරම් හිමි කර ගෙන නොමැති ඉන්දීය ක්‍රීඩකයින් 743 දෙනෙකු සහ ජාත්‍යන්තර වරම් හිමි කර ගෙන නොමැති එහෙත් අවම වශයෙන් එක් අයි.පී.එල් තරගයක් ක්‍රීඩා කර ඇති ඉන්දීය ක්‍රීඩකයින් 50 දෙනෙකු වෙන්දේසිය සදහා ලියාපදිංචි වී තිබෙනවා.

එමෙන්ම ජාත්‍යන්තර වරම් දිනා ගත් විදෙස් ක්‍රීඩකයින් 186 දෙනෙකු මෙන්ම ජාත්‍යන්තර වරම් දිනා නොමැති විදෙස් ක්‍රීඩකයින් 68 දෙනෙකු ද ලියාපදිංචි වී ඇති බව සදහන්.

ජාත්‍යන්තර වරම් දිනා නොමැති එහෙත් අවම වශයෙන් එක් අයි.පී.එල් තරගයක් ක්‍රීඩා කර ඇති විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ ටෙස්ට් වරම් නොලැබූ රටවලින් ක්‍රීඩකයින් 27 දෙනෙකු ද අයි.පී.එල් ක්‍රීඩක වෙන්ද්සියට ඉදිරිපත් වනු ඇති.

විදෙස් ක්‍රීඩකයින් අතරට, ඇෆ්ඝනිස්තානයෙන් ක්‍රීඩකයින් 30 දෙනෙකු, ඔස්ට්‍රේලියාවෙන් ක්‍රීඩකයින් 42 දෙනෙකු, බංග්ලාදේශයෙන් ක්‍රීඩකයින් 5 දෙනෙකු, එංගලන්තයෙන් ක්‍රීඩකයින් 21 දෙනෙකු, අයර්ලන්තයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ නේපාලයෙන් ක්‍රීඩකයින් 8 දෙනෙකු ඇතුළත්.

ඊට අමතර නෙදර්ලන්ත ක්‍රීඩකයෙකු, නවසීලන්ත ක්‍රීඩකයින් 29 දෙනෙකු, ස්කොට්ලන්ත ක්‍රීඩකයින් 7 දෙනෙකු, දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් 38 දෙනෙකු ද ලියාපදිංචි වී තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ක්‍රීඩකයින් 9 දෙනෙකු, අමෙරිකානු ක්‍රීඩකයින් දෙදෙනෙකු, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් 56 දෙනෙකු මෙන්ම සිම්බාබ්වේ ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්ව සිටින බව සදහන්.

සෑම සංචිතයකටම ක්‍රීඩකයින් 25 දෙනෙකු තෝරා ගත හැකි අතර, ඒ අනුව කණ්ඩායම් හිමිකරුවන් විසින් ක්‍රීඩක වෙන්දේසියේ දී උපරිම වශයෙන් ක්‍රීඩකයින් 61 දෙනෙකු මිලදී ගැනීමට නියමිතව තිබෙනවා.

ඉන් ක්‍රීඩකයින් 22 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් වනු ඇති.

ක්‍රීඩක වෙන්දේසිය ලබන 18 වනදා පස්වරු 3ට චෙන්නායි හී දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment