Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව පරදා 8 වැනි වරටත් යොවුන් ආසියානු ශූරතාවය ඉන්දියාවට

Match Report

මෙවර යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම අද(31) සමත් වුණා.

8 වැනි වරටත් ඔවුන් එලෙස යොවුන් ආසියානු ශූරතාවයක් දිනා ගත්තේ අද පැවැති අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 9ක ජයක් වාර්තා කරමින්.

තරගය ඩුබායි හී දී පැවැති අතර, කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ශ්‍රී ලංකාව පන්දුවාර 33ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 74ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

පසුව එක් ඉනිමක් පන්දුවාර 38කට සීමා කිරීමටයි විනිසුරුවන් තීරණය කළේ.

නියමිත පන්දුවාර 38 අවසානයේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 106ක් පමණයි.

ඉනිම ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

ඒ අනුව අවසන් පූර්ව තරගයේ දී මෙන්ම මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා මුල්පෙල හා මැදපෙල පිතිකරුවන් අසාර්ථක වීම විශේෂත්වයක්.

නම් දැරූ පිතිකරුවන් අතරින් ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ සදිෂ රාජපක්ෂට පමණයි. ඔහු ලකුණු 14ක් රැස් කළා.

යසිරු රොද්‍රිගෝ නොදැවී ලකුණු 19ක් ලබා ගත් අතර, රවීන් ද සිල්වා ලකුණු 15කටත්, මතීෂ පතිරණ ලකුණු 14කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී විකී ඔස්ට්වල් කඩුලු 3ක් හා කෞෂාල් ටම්බෙ කඩුලු 2ක් බිද හෙලුවා.

අනතුරුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ තරගය ජය ගැනීමට ඉන්දියාවට ලකුණු 99ක ඉලක්කයක් ලබා දුන් නමුත්, ඉන්දීය ඉනිම අතරවාරයේ දී එය ලකුණු 102ක් ලෙස සංශෝදනය කෙරුණා.

ඉන්දියාව ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 21.3ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී සිටියදීයි.(104/1)

Angkrish Raghuvanshi ලකුණු 56ක් හා Shaik Rasheed ලකුණු 31ක් නොදැවී රැස් කළා.

පන්දු යැවීමේ දී යසිරු රොද්‍රිගෝ ලකුණු 12කට එක් කඩුල්ලක් දවා ගත්තා.

ශ්‍රී ලංකාව යොවුන් ආසියානු කුසලාන තරගාවලියක අනුශූරතාවය දිනා ගත් 5 වැනි අවස්ථාව මෙයයි.

Leave a comment