Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව අවධානමක – පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් සදහා කණ්ඩායම් තෝරන්නේ මෙහෙමයි

2022 වසරේ දී එංගලන්තයේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්ව සදහා කණ්ඩායම් සුදුසුකම් ලබන ආකාරය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය හා ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව කාන්තා ක්‍රිකට් තරග ඉසව්ව සදහා රටවල් 8ක් එක්වීමට නියමිතයි.

එම කණ්ඩායම් අතරට මේ වන විටත් එංගලන්තය සුදුසුකම් ලබා ඇත්තේ සත්කාරකත්වය පදනම් කර ගනිමින්.

2021 වසරේ අප්‍රේල් 1 වැනිදා වන විට 20යි 20 කාන්තා ශ්‍රේණිගත කිරීම්හි එංගලන්තය හැර ඉදිරියෙන් සිටින සෙසු රටවල් 6 ද ක්‍රීඩා උළෙලට සෘජුව සුදුසුකම් ලබනු ඇති.

ක්‍රීඩා උළෙලට එක්වන අවසන් කණ්ඩායම තෝරා ගැනීම සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් (Commonwealth Games Qualifier) සංවිධාන කරන අතර, ඉන් ජය ගන්නා කණ්ඩායමට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක්වීමේ අවස්ථාව හිමි වනවා.

මේ අතර, තරගාවලිය සදහා බටහිර ඉන්දීය කොදෙව්වන් සුදුසුකම් ලබා ගතහොත් තවත් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ද පැවැත්වීමට සිදු වනු ඇති.

ඒ, කැරිබියානු දූපත් අතරින් කුමන රටක් අදාළ තරගාවලියට ක්‍රීඩා කරන්නේ ද යන්න තෝරා ගැනීම සදහායි.

ක්‍රිකට් තරග සදහා කැරිබියානු දූපත් රාජ්‍යයන් ඒකාබද්ධ වී තරග කළ ද, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සදහා කැරිබියානු දූපත්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින්නේ වෙන වෙනම රටවල් වශයෙන්.

එබැවින් එම කැරිබියානු දූපත් රාජ්‍යයන් අතර පවත්වන සුදුසුකම් ලැබීමේ තරගාවලියකින් ජය ගන්නා කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව උදා වනු ඇති.

මේ වන විට අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්වලට අනුව කොදෙව්වන් 6 වන ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකාව 8 වන ස්ථානයේ පසුවනවා.

ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සෘජුව සුදුසුකම් ලැබීමටනම් ලබන වසරේ අප්‍රේල් පළමු වැනිදා වන විට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 6 අතරට (එංගලන්තය හැර) පිවිසිය යුතුයි.

එසේ නොවුණහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ තරග වටය ජය ගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක්වීමට සිදුවනවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් සදහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වන්නේ ඉතිහාසයේ දෙවැනි වරට වන අතර, මීට පෙර 1998 වසරේ දී පිරිමි ක්‍රිකට් තරග ඉසව්වක් ක්‍රීඩා උළෙලට ඇතුළත්ව තිබුණා.

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මිංහැම්හී දී පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූලි 28 සිට අගෝස්තු 8 වනදා දක්වායි.

සියලු ක්‍රිකට් තරග බර්මිංහැම්හි එඩ්ග්බස්ටන් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Leave a comment