Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයට සියල්ල සූදානම් ; තණතීරුව, කාළගුණය ඇතුළු සියලු තොරතුරු මෙන්න

"අපිට අවශ්‍ය විදිහට පළමු තරගය ගියෙ නැහැ. ඊට පස්සේ අපි කතා බහ කරා. අපේ ටීම් එකේ අත්දැකීම් සහිත ක්‍රීඩකයින් ඉන්නවා. එයාලා එයාලාම කතා වුණා මොනවද අපි ඉදිරියට කරන්න ඕනේ කියලා."

Match details

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය,
ජූනි 7 (මෙරට වේලාවෙන් ජූනි 8), ඩලස්හි Grand Prairie ක්‍රීඩාංගනය,
රාත්‍රී 7:30 (දේශීය වේලාවෙන්), පෙරවරු 06:00 (ශ්‍රී ලංකාවේ වේලාවෙන්)

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් තීරණාත්මක තරගයක් මෙරට වේලාවෙන් හෙට(8) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 6:00 ට ඇමෙරිකාවේ ඩලස්හී දී ආරම්භ වීමට නියමිතයි.

D කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය පැවැත්වෙන අතර, තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වන්නේ සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීමටනම් මෙම තරගයේ ජය ඉතා වැදගත් වන බැවින්.

ශ්‍රී ලංකාව මේ වන විටත් දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්ව ඇති නිසා බංග්ලාදේශය හමුවේ ද පරාජයට පත් වුවහොත් සුපිරි 8 වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව දැඩි අවධානමකට ඇද වැටෙනවා.

බංග්ලාදේශය මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී මෙතෙක් කිසිදු තරගයක් ක්‍රීඩා කර නැහැ. කෙසේ වෙතත්, ඔවුන් හෙට තරගය පරාජය පත්වුවහොත් ඔවුන්ට ද ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීම දැඩි අභියෝගයක් බවට පත්වන්නේ දකුණු අප්‍රිකාව සමග ද බංග්ලාදේශයට ඉදිරියේ දී තරග වැදීමට සිදුව තිබීම හේතුවෙන්.

“ක්‍රීඩකයෝ මානසිකව හොද මට්ටමක ඉන්නවා.” : කණ්ඩම්බි 

අවසන් වරට දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත් බැවින් හෙට තරගයට බංග්ලාදේශයට වඩා ශ්‍රී ලංකාව තරමක් ඉහළ මානසික තත්ත්වයක් යටතේ පිවිසෙනු ඇති.

“මේ වගේ තරගාවලියකට එනකොට අපි දන්නවා මේ වගේ ඩූ ඕ ඩයි තරගවලට අපිට මුහුණ දෙන්න වෙනවා කියලා. ඒක දැනෙගන තමයි මේකට සහභාගී වෙන්නේ.” යනුවෙන් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මහතා මාධ්‍ය හමුවේ සදහන් කළා.

“අපිට අවශ්‍ය විදිහට පළමු තරගය ගියෙ නැහැ. ඊට පස්සේ අපි කතා බහ කරා. අපේ ටීම් එකේ අත්දැකීම් සහිත ක්‍රීඩකයින් ඉන්නවා. එයාලා එයාලාම කතා වුණා මොනවද අපි ඉදිරියට කරන්න ඕනේ කියලා. මොකද අපිට පුහුණුවීම්වලින් ලොකුවට දේවල් කරන්න අමාරුයි. නමුත්, මානසිකව හොද මට්ටමක ඉන්නවා ක්‍රීඩකයෝ. මොකද අපි ළගදි පැවැති තරගාවලිය ජයග්‍රහනය කරා බංග්ලාදේශයක් එක්ක.”

ටස්කින් සූදානම් – ශොරිෆුල් ?

මේ අතර, හෙට තරගය සදහා කණ්ඩායමේ සැලකිය යුතු වෙනසක් සිදු නොවනු ඇති බවත්, ඇතැම් විට යම් වෙනසක් සිදු විය හැකි නමුත් ඒ පිළිබද මෙතෙක් තීරණය කර නොමැති බවත්, තිළිණ කණ්ඩම්බි කියා සිටියා.

මේ අතර, පාදයක ආබාධයකට ලක්ව සිටි ටස්කින් අහ්මඩ් මේ වන විට සුවය ලබා සිටින අතර, ඔහු පුහුණුවීම් තුළ දී පන්දු යැවීම ද ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි තරගයට ටස්කින් අහ්මඩ් ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

කෙසේ වෙතත්, ඉන්දියාවට එරෙහි පුහුණු තරගයේ දී පන්දුවක් වැදීමෙන් අතක ආබාධයකට ලක් වූ ශොරිෆුල් ඉස්ලාම්ට හෙට තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ දැඩි අවධානමක් පවතිනවා.

කාළගුණය හා තණතීරුව

ඩලස් ක්‍රීඩාංගනයේ පැවැති පළමු තරගයේ දී කැනඩාව ලබා ගත් ලකුණු 194 ක ලකුණු ප්‍රමාණය සාර්ථකව හඹා යාමට ඇමෙරිකාව සමත් වුණා. කෙසේ වෙතත්, එම ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි තරගයේ දී නේපාලය ලකුණු 106 කට දැවී ගියා.

ඊයේ ඇමෙරිකාව හා පාකිස්තානය අතර පැවැති තරගය ද ඩලස් හී දී පැවැති අතර, එම තරගය සදහා ද පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් ලැබී තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයට ද පිතිකරුවන්ට උචිත තණතීරුවක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

මේ අතර, තරගයට වර්ෂාවෙන් ද කිසිදු බලපෑමක් එල්ල නොවන බවට කාළගුණ අනාවැකි පලව තිබෙනවා.

D කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන –

[team_standings 59915]

Leave a comment