Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගාවලි ජය සොයා බංග්ලාදේශය තරග බිමට – ඔබ දැන ගත යුතු සියලු තොරතුරු මෙන්න

Match Preview : ඉතිහාසය, කණ්ඩායම් දෙක, කාලසටහන, තණතීරුව, කාළගුණය හා රූපවාහිනී විකාශනය ඇතුළු සියලු තොරතුරු මෙන්න...

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් විස්සයි 20 තරගාවලිය හෙට (4 වැනිදා – සදුදා) ආරම්භ වනවා. පළමු තරගය මෙරට වේලාවෙන් පස්වරු 5.30 ට සිල්හෙට් හී දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියට එක් වන කණ්ඩායම් දෙක අද දිනයේ දී සිල්හෙට් හී දී සිය අවසන් පුහුණු සැසිවල නිරත වූ අතර, ශූරතා කුසලානය එළිදැක්වීම ද සිදු කෙරුණා.

ඉතිහාසය

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මේ දක්වා විස්සයි 20 ජාත්‍යන්තර තරග 13 ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 9ක් ශ්‍රී ලංකාව ජය ගෙන ඇති අතර, බංග්ලාදේශය ජය ගෙන ඇත්තේ තරග 4ක් පමණයි.

දෙරට අතර මෙතෙක් පැවැති කිසිදු විස්සයි 20 තරගාවලියකින් ජය ගැනීමට බංග්ලාදේශය සමත්ව නැහැ. දෙරට අතර අවසන් වරට විස්සයි 20 තරගාවලියක් පැවැත්වුණේ 2018 වසරේ දී යි. බංග්ලාදේශයේ දී පැවැති එම තරගාවලිය තරග 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තා.

මේ අතර, අවසන් වරට ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශය විස්සයි 20 තරග ජයක් වාර්තා කර ඇත්තේ 2018 වසරේ දී පැවැති නිදහස් කුසලාන තරගාවලියේ දී යි.

කණ්ඩායම් දෙක 

මෙම තරගාවලියේ පළමු තරග දෙක සදහා ශ්‍රී ලංකා නිත්‍ය නායක වනිදු හසරංග ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ, ඔහුට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය පැනවූ තරග දෙකක තහනම හේතුවෙන්. ඒ අනුව පළමු තරග දෙකේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ චරිත් අසලංකටයි.

එමෙන්ම ඇෆ්ඝනිස්තානයට එරෙහි අවසන් විස්සයි 20 තරගයේ දී ආබාධයකට ලක් වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ද මෙම විස්සයි 20 තරගාවලිය අහිමි වී තිබෙනවා. අසනීප තත්ත්යක් නිසා කුසල් පෙරේරා ද විස්සයි 20 සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගැනුණේ.

ඔවුන් දෙදෙනා වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු හා නිරෝෂන් දික්වැල්ල සංචිතයට ආදේශ කෙරුණා.

ඒ අනුව පළමු විස්සයි 20 තරගයේ දී කුසල් මෙන්ඩිස් සමගින් අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, අංක 3 ස්ථානයේ ඇතැම් විට කමිදු මෙන්ඩිස් පන්දුවට පහර දීමට ඉඩ පවතිනවා.

ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට කැදවා ඇතත්, ප්‍රධාන දග පන්දු යවන්නන් දෙදෙනා ලෙස මහීෂ් තීක්ෂණ හා අකිල ධනංජය ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.

මේ අතර, තරග රටා ත්‍රිත්වය වෙනුවෙන්ම බංග්ලාදේශ කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස නජ්මුල් හොසේන් ශන්තෝ පත් වීමෙන් පසුව බංග්ලාදේශය ක්‍රීඩා කරන පළමු තරගාවලිය වන්නේ හෙට ආරම්භ වන විස්සයි 20 තරගාවලියයි.

තණතීරුව හා කාළගුණය

තරගය සදහා යොදා ගැනෙන සිල්හෙට් තණතීරුව තණකොල සහිත කොළ පැහැයෙන් යුතු තණතීරුවක් ලෙස අද දිනයේ දී දැක ගත හැකි වුණා. ඒ අනුව වේග පන්දු යවන්නන්ට වැඩි වාසියක් මෙම තරගයේ දී අපේක්ෂා කළ හැකියි.

සිල්හෙට් ප්‍රදේශයට පෙරවරු කාලයේ දී ඇතැම් විට සුළු වැසි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවට කාළගුණ අනාවැකි පලව තිබෙනවා. කෙසේ වෙතත්, පස්වරු කාලයේ දී ඉතා යහපත් කාළගුණ තත්ත්වයක් පවතින බැවින් තරගයට වර්ෂාවෙන් කිසිදු බලපෑමක් එල්ල නොවනු ඇති.

රූපවාහිනී විකාශනය :

තරගාවලියේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ සියත TV නාලිකාවටයි.

Dialog TV පාරිභෝගිකයින්ට මෙම තරග සංචාරය නැරඹිය හැකි වන්නේ ThePapare TV නාලිකාව (නාලිකා අංක 63) හරහායි.

Peo TV පාරිභෝගිකයින්ට Event TV (SD – නාලිකා අංක 20, HD – නාලිකා අංක 310) නාලිකාව ඔස්සේ තරග නැරඹිය හැකිවනවා.

මීට අමතරව Sporty.lk youtube නාලිකාව ඔස්සේ ද, ‘Dialog ViU’ App හා ‘PEOTV GO’ App හරහා ද තරග නැරඹිය හැකියි.

ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය :

Wanindu Hasaranga (C), Charith Asalanka (VC), Kusal Mendis, Sadeera Samarawickrama, Angelo Mathews, Dasun Shanaka, Maheesh Theekshana, Dhananjaya de Silva, Niroshan Dickwella, Dilshan Madushanka, Nuwan Thushara, Matheesha Pathirana, Akila Dananjaya, Binura Fernando, Kamindu Mendis, Avishka Fernando, Jeffrey Vandersay

බංග්ලාදේශ විස්සයි 20 සංචිතය :

Najmul Hossain Shanto (C), Litton Kumer Das, Anamul Haque Bijoy, Md Naim Sheikh, Tawhid Hridoy, Soumya Sarkar, Shak Mahedi Hasan, Mahmud Ullah, Taijul Islam, Rishad Hossain, Taskin Ahmed, Mustafizur Rahman, Shoriful Islam, Tanzim Hasan Sakib, Jaker Ali Anik

බංග්ලාදේශ තරග සංචාරයේ සම්පූර්ණ තරග කාලසටහන –

  • 04 March 24 – 1st T20i (starts at 5.30pm SLST) – SICS, Sylhet
  • 06 March 24 – 2nd T20i (starts at 5.30pm) – SICS, Sylhet
  • 09 March 24 – 3rd T20i (starts at 5.30pm) – SICS, Sylhet
  • 13 March 24 – 1st ODI (starts at 2:00pm) – ZACS, Chattogram
  • 15 March 24 – 2nd ODI (starts at 2:00pm) – ZACS, Chattogram
  • 18 March 24 – 3rd ODI (starts at 9.30am) – ZACS, Chattogram
  • 22-26 March 24 – 1st Test (starts at 9.30 am) – SICS, Sylhet
  • 30 March – 03 April 24 – 2nd Test (starts at 9.30 am) – ZACS, Chattogram
Leave a comment