ශහිඩ් අෆ්රිඩි PSL තරගාවලියට නැහැ

පාකිස්තාන හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සහ මුල්ටාන් සුල්ටාන් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ශහිඩ් අෆ්රිඩිට මෙවර පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියේ ඉදිරි තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, කරච්චි නුවර පැවැති පුහුණුවීම් අතරතුර දී ඔහු පිට කොන්දේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.
ඒ අනුව 41 හැවිරිදි අෆ්රිඩිට විවේක ගන්නා ලෙසට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බව සදහන්.
ඔහු වෙනුවට වමත් දග පන්දු යවන ක්‍රීඩක අසිෆ් අෆ්රිඩි මුල්ටාන් කණ්ඩායම සදහා ආදේශ කර තිබෙනවා.
පසුගිය පෙබරවාරි 20 වනදා ආරම්භ වූ පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය කොරෝනා වංසගතය හේතුවෙන් අතරමගදී අත්හිටුවීමට සිදු වූ අතර, ඒ වන විට සම්පූර්ණයෙන් පවත්වා අවසන් කර ගැනීමට හැකියාව ලැබී තිබුණේ තරග 14ක් පමණයි.
එහි ඉතිරි තරග ලබන ජූනි පළමු වැනිදා සිට 20 වනදා දක්වා අබුඩාබිහී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.